මේ ගැන ලියන්නම ඕනේ කියලා හිතුනේ සැරෙන් සැරේ මතුවෙන කතාබහත් එක්ක. මෙහෙම ලියා දෝෂ දර්ශනයට ලක් වුණාට සමහර විට ඔබට නොදන්නා කාරණා මේ තුළින් දැනගැනීමට හැකි වෙයි. මේ ලිවීමට හේතු වෙන්නෙ ද මා සමාජ මාධ්‍යය තුළ නොයෙක් තැන් වල දකින්න ලැබුණු ගෘහාශ්‍රිත අලි ඇතුන් පිළිබඳව ඇති සමාජ ආකල්ප සහ හැසිරීමයි.
වන අලි හිංසනය පිළිබඳ දුක් වෙන පිරිසම මිනිස් වාසයෙ හැදෙන අලින් පිළිබඳව පස්වනක් ප්‍රීති ඝෝෂා සිදු කරන්නේ කෙසේද කියන උහතෝකෝටිකය මා මේ ගැන ලියන්නට පෙළඹවූ කාරණාවයි. අපි ලංකාවට ගිය වෙලාවේ හිතවතුන් පිරිසක් කතා කර තිබුනා යාල වනෝද්‍යානය නැරඹීමට. අපේ ගෙදර මම සැමියා සහ දරුවා කතා බහ කර වටහාගෙන තියෙන අපේ ප්‍රතිපත්තියක් තමා අපි සත්ත්ව උද්‍යාන නැරඹීම, අස්ව අලි වැනි සතුන් පිට යෑම ආදියෙන් පටන් ගෙන ගෙදර සතුන් සුරතලයට හෝ සතුන් ගාල් කරන්නේ නෑ කියන එක. වනෝද්‍යාන තුලට ගමන් කර අහිංසක වන සතුන්ගේ ජීවිත නිදහසට බාදා කිරීම වැනි දේවල් ගැන අපි ඒකමතිකව සාකච්ජා කර සහභාගි නොවන බව තීරණය කර තිබෙනවා. මේ නොයෙක් රටවලදී වුණත් අශ්වයන් පෝනියන් පිටේ යන්න තියෙන අවස්ථා අපත් දරුවාත් ප්‍රතික්ෂේප කර තිබෙන්නේ ඒ වටහා ගැනීම නිසයි.
දැන් අපේ හිතවතුන්ට කීවාම අපි සත්තව හිංසනය අකමැතියි කියා ඔවුන් එවිට කීවේ සත්තු බලන්න යන එකෙන් මොන හිංසනයක් ද කියල. ඒ තමා අපේ රටේ ජන සමාජයේ වටහා ගැනීම. මිනිස් ශිෂ්ටාචාරය දිහා බැලුවොත් හිංසනය පිටු දැකීම නොයෙක් ආකාරයෙන් නොයෙක් කාල තුළ ප්‍රචාරණය වෙලා තියෙනවා. දඩයම් යුග වැදි යුග පසුකරමින් අපි දැනුමෙන් වගේම ආකල්ප අතින් ද වනචාරි නොවන යුගයකට ඇවිත් තියෙනවා. කිසිවෙකුට හිංසා නොකරන්න යැයි කියවෙන අවිහිංසාවාදි දර්ශනයක් පසුව ආගමක් ලෙස ප්‍රචාරණය වුවද දිනපතා ප්‍රාණ ඝාතය නොකරමි කියා ශික්ෂා පද කියනා අප ඇත්තටම හිංසනය ගැන සබුද්ධිකව සිතා බලනවාද ?
ගෙදර හදන බල්ලා පූසා ගැන අපි බොහෝම ආදරයක් දයාවක් තිබෙනවා. බල්ලො පූසෝ ආහාරයට ගන්නා ජන සමාජ කෙරෙහි අපේ නොපහන් බව පෙන්වනවා. ඒවගේම තමා සත්ත්ව මාංශ ප්‍රෝටීන් ප්‍රභවයක් ලෙස දකිමින් මස් මාංශ ආහර වේල්වල සුලභව භාවිතා වෙනවා. එනමුත් එය හිංසනයක් ලෙස දකින පිරිස ඒවා ආහාරයට ගැනීමෙන් වැලකී සිටිනවා. මෙලෙස මම ලියන්නේ දැන් මා ඊළඟට කියන්න යන දේ එක්කත් whataboutism කියා ඉංග්‍රීසියෙන් හඳුන්වන “ ඇයි එහෙනම් මේවා පෙනෙන්නේ නැද්ද” කියා ඇඟිලි දිගු කරන තමන්ගේ මනස දිහා හැරී නොබලන පිරිසක් ඉන්න නිසා.
අද ලියන්නේ අලියා ගැන. මම පාසැල් ව්‍යාපෘතිය සඳහා තෝරා ගන්නේද ලංකාවේ අලි මිනිස් ගැටුම පිළිබඳවයි. එය එම වසරේ පාසැලේ සිදු කළ ව්‍යාපෘති සටහන් අතරින් හොඳම එක ලෙස බුහුමනට ලක් වුණා. ඒත් දශක දෙකකට වැඩි ඒ කාලයේදි මම හිතාගෙන හිටියේ ඉදිරි අවුරුදු වල ලංකාවේ අලි මිනිස් ගැටුම විසඳන්න හැකි වේවි කියලා. ඒත් අදත් කෝච්චි පාරවල් මහ පාරවල් වලට අලි පැනලා අලින්ටත් මිනිසුන්ටත් තුවාල සිදුවෙන එක මොන තරම් කම්පනයක් ද ?
මේ ලිවීමට ප්‍රස්තුතය සපයන්නේ නිවෙස්වල හැදෙන අලි හෙවත් domestic elephants ලා තවමත් ඉන්න ශ්‍රී ලංකාවේ විවිද මිනිසුන්ගේ මනෝභාවයන්. සමහරුන්ට එය මහත් වූ අභිමානයක් ලෙස දැනුන ද ඒ පිටු පස තිබෙන සත්ත්ව හිංසනය නැමැති සාධකය සබුද්ධික ප්‍රජාව වෙත පෙනෙනවා. එනිසා එවැනි glorification හෙවත් උත්කර්ශයට නැංවීම වෙනුවට, කැලේ ඉන්න අලි මිනිස් වාසයෙ හදන එක සත්ත්ව හිංසනයක් ලෙස දකින්න හැකි වුණු අයට මුලින්ම ස්තූතිවන්ත වෙනවා.
වන අලි කැලැවලින් එළියට අරගෙන හීලෑ කරගෙන අන්දවාගෙන සර්කස් සංදර්ශන පෙරහැර ගෙනියන එකත් කොටන් අදින එකත් ගෙවල් වල හදන එකත් සාමාන්‍යකරණය වෙන්න හේතුව අපේ ජන සමාජයේ තවමත් එය හිංසනයක් ලෙස දකින්නට අසමත් වීමයි. මා කුඩා කල කියවූ පොතක් වන ” පනාමුරේ ඇත් රජ” පොතේ ඇත් අලි ගාල් කරවන හැටි වද දී ඔවුන් හීලෑ කරන හැටි ගැනත් ඒ දේවල් මහත් අහලදයෙන් වැළඳ ගත් එකල උසස් කුලවත් සමාජය ගැනත් බොහොම අප්‍රසන්න අප්‍රිය හැගීමක් ඇති කළා.
ලෝකයේ වන සත්ත්ව සංරක්ෂනය වෙනුවෙන් දැඩි ලෙස කැපවී ඇති WWF හෙවත් ලෝක වන සත්ත්ව අරමුදල මගින් 2018 දි ප්‍රකාශනය ට පත්‍රිකාවේ සඳහන් කර ඇත්තේ ආසියානු අලින් 50 000 ක් පමණ මේ ආසියාව පුරා සිටින බවයි. එයින්ද 50% ක් ඉන්නේ ඉන්දියාවේ. ඔබට මේ සම්බන්ද ලින්ක් එක අවසානයට මා එකතු කර ඇත.(1)
ඇත් දළ දඩයම් කිරීම සහ වාසස්ථාන අහිමි වීම හේතුවෙන් දශක කිහිපයක් පුරා අලිගහනය අඩු වීම හේතුවෙන් වන අලි දැන් දැඩි ලෙස වඳවීමේ තර්ජනයට ලක්ව ඇති වනජීවියෙක් ලෙස ලැයිස්තුගත කර ඇත. අප්‍රිකානු සැවානා අලියා IUCN රතු ලැයිස්තුවේ දැඩි ලෙස තර්ජනයට ලක්ව ඇති විශේෂයන් ලෙසද ලැයිස්තුගත කර ඇත. ආසියානු අලියා ද වඳවීමේ තර්ජනයට ලක්ව ඇති බවද එය දැන් අප්‍රිකානු අලින්ට වඩා වැඩි තර්ජනයක් බවද සඳහන් කර ඇත. (3)
මව් ඇතින්න මරා පැටවුන් හොරා ගන්නා බවට ඇතිවූ කටකතා පුවත් ඔබට මතක ඇති. පන්සල් වල ඔහේ ඇතැර යන පැටවුන් ගැන කතා පුවත් ඔබ අසා ඇති.
වනයේ නිදහසේ සැරිසරන අලියෙක් දවසකට කිලෝමීටර 195 ක් පමණ ඇවිදින්න හැකි බවත්, මේ ව්‍යායාමය ඔවුන්ට අත්‍යාවශ්‍ය බවත් සත්ත්වයින් පිළිබඳ තොරතුරු දක්වන සටහන් ගෙන හැර පායි (2, 3)
වනයේ සිටින අලි සාමාන්‍යයෙන් දිනකට සැතපුම් 40ක් පමණ පයින් ගමන් කරයි. නිරන්තර ව්‍යායාම මෙම සතුන්ගේ සෞඛ්‍යයට ඉතා වැදගත්. මන්ද ඔවුන්ගේ විශාල ශරීර බර ඔවුන්ගේ සන්ධි සහ අස්ථි මත විශාල පීඩනයක් ඇති කරන නිසා.
ගෘහස්ත අලින්ට එවැනි ඇවිදිල්ලක් ලැබෙනවා ද ? ඔවුන්ට එසේ ප්‍රමාණවත් ව්‍යායාම් නොලැබීමේ ප්‍රතිවිපාක අලි ඇතුන්ට බොහෝ විට මාරාන්තික බව මේ පත්‍රිකා සඳහන් කරනවා. ගෘහස්ත අලි ඇතුන් නිතර දම්වැලකින් බැඳ ඇති අතර කොන්ක්‍රීට් වැනි තද පෘෂ්ඨ මත ජීවත් වීමට ඇවිදීමට සිදුවේ. එවැනි හරි ව්‍යායමයක් සහ නිදහස් හැසිරිමක් නොලැබීමෙන් ආතරයිටිස්, පාදවල තුවාල, සැරව ගෙඩි ඇතිවීම සහ අනෙකුත් නිදන්ගත පාද සහ සන්ධි ගැටළු ඇති කරයි. ශරීර උෂ්ණත්වය පාලනය කරන්නේ ඔවුන්ගේ සමයි. නිතර ජලාශ්‍රිත ව සිටීමට ප්‍රිය කරයි. එහෙත් ගෘහාශ්‍රිතව ඔවුන්ට අවශ්‍ය දෑ ලැබෙනවා ද?
අපේ අලි ඇතුන් ගැන වගවන වගකියන විද්‍යාත්මක ඉගෙනීමක් සහිත ඕනෑ කෙනෙක් මේ කාරණා අපටත් වඩා හොඳින් දන්නවා ඇති.
එනිසා මේ වෙනකොට ඔබට වැටහෙන්න ඕනෙ අලි ඇතුන් වනයෙන් පිටතට රැගෙන ඒම සහ නොයෙක් මානව ක්‍රියාවලට ඔවුන් යොදා ගැනීම මොන තරම් ප්‍රාථමික හිංසාවාදී ක්‍රියාවක්ද කියන එක. දැන් ලෝකයේ බොහෝ අය උනන්දු වෙන්නේ සතුන් ඔවුන්ගේ සාමාන්‍ය පරිසරයේ ජීවත්වීමට සැලැස්වීම ගැනයි.
මෙතනදි බොහෝ අලි ඇතුන්ගේ සුභසාදනය ගැන වදවෙන පිරිස් මන්තරයක් වගේ මතුරන මේ සංස්කෘතික අංගයන් විවේචනයට ලක් වීම වැලැක්විය නොහැකියි.සංස්කෘතික අංගයන් කියන දේ නිරන්තරයෙන් වෙනස් වීම් වලට ලක් වෙනවා. සියළු සත වෙත මෛත්‍රීය පතුරන අවිහිංසාවාදී දහමක් අනුව පිහිටියේ නම් අනුගමනය කරන්නේ නම්, ඒ මග යන්නේ නම් අපට කිසිවෙකුට හෝ කිසිඳු සත්ත්වයෙකුට හිංසාවක් කරන්න බැරි විය යුතුය. අප කැමති ආකාරයේ නිදහස් ජිවිතයක් අන් සතුන්ටද තිබිය යුතුයි.
එක පැත්තකින් එය අපි ඉස්කෝලෙ නොවේ ගෙදර ඉඳන්ම උගන්වන්න ඕනේ. කොයි දරුවාත් දරුවෙක්… කොයි සත්වයත් හිංසනයට අකමැති කියලා අවබෝධය අපේ දරුවන්ට ලබා දෙන්න ඕනේ. මේ ලියන මම රටවල් කිහිපයක ජීවත් වුණත් ඒ කිසිවක දී හෝ ලංකාවේදී මගේ දරුවා සත්ත් ව උද්‍යානයකටවත් නොගෙනිච්ච කෙනෙක්. මීට කළින් මේ සම්බන්දව දීර්ඝ ලෙස ලියා තියෙන නිසා ඒ ගැන ලියන්නෙ නෑ (4 ලින්ක් එක).
මිනිස්සු ශිෂ්ට සම්පන්න හෝ අහිංසාව පදනම් කොට ගත් බෞද්ධ දර්ශනය පිහිටා කටයුතු කළ යුතුයි.
එහෙනම් කුකුලාද එළුවාද අශ්වයාද අලියාද ඇතුළු සියළු සත්ත්වයින් ම මේ හිංසා පීඩාවෙන් මිදිය යුතුයි. එසේ සිතන මිනිසුන් ඉන්නා බව ඔබ දන්නවා ද ? එහෙම හිතලා Vegan හෝ vegetarian වූ පිරිස් ඉන්නවා.
මගේ මී මුත්තන්, මී හරකුන් යොදවා කුඹුරු කරන්න ඇති, ඒත් ට්‍රැක්ටර් ආවාම ඒ සතුන් ඉවත් කළා. අදටත් අපේ ගමේ ලොකු අප්පච්චි හෝ වෙනයම් නෑයෙක් සතුව හරකා බාන හිමි නෑ. ඒ කාලේ මී හරකුන් ඉබේ පහළ වුණේ නෑ ඔවුන් ද කැලෙන් අල්ලා ගත්තේ කියා මම ඉතිහාස පොත් වල කියවා තියෙනවා. ඒවගේම JCB වැනි යන්ත්‍රෝපකරණ ආ පසු අලි ඇතුන් යොදවා කොටන් ඇදීම බර වැඩ කිරීම සිදු නොකර ඉන්න බොහෝ පිරිස් වග බලා ගත් බව මා කියවා තිබෙනවා. ඒක තමා දියුණු මානව ශිෂ්ටාචාරයක ලක්ෂණ. සංස්කෘතියක පවත්වාගෙන එන සිරිත් විරිත් සහ නොයෙක් අංගයන් වුනත් හිංසනය නම් දේ වටහාගත් පසු නොකර ඉන්න එකයි ගුණවත් කම. හරියට ඇතැම් ආගම් වල එන ලිංගාශ්‍රිත චර්ම ජේදනය නම් චාරිත්‍යය වගේ. හරියට, ඉස්සර කාලේ ගැහැණු උදවිය ඉවසාගත්,මහත් පීඩනයට ලක් වූ ගෘහාශ්‍රිතව සිදුවන හිංසා වගේ, ඒවා මේ වෙනකොට gender based violence domestic violence ලෙසින් හඳුනාගෙන හිංසාවන්ට විරුද්ධව නීතිරීති පවා හැදී තිබෙනවා. රටවල ඇත් අස් සේනා හිටියේ ඉස්සර දැන් ඒ වෙනුවට වාහන් යාන්ත්‍රික දේ විකල්ප දේ සොයාගෙන තියෙනවා. ඒවායෙ භාවිතය සමඟ ඇතුන් අශ්වයින් ගාල් කිරිම බෝ කිරීම පුහුණු කිරීම වැනි දෑ අපහසු වීමත් හිංසාකාරී වීමත් යන කරුණු මූලික අරගෙන ඒ සත්ත්ව සේනා වල පැවැත්මද නැවතුනා.
මිනිසා දැනුමෙන් බුද්ධියෙන් පමණක් නොවේ මානවීය ගුණයෙන් පරිපූර්ණ වෙද්දී කිසිවෙකුට හිංසාවක් කරන්න පෙළඹෙන්නේ නෑ. බුදුන් වහන්සේ වදාලේද මේ අවිහිංසාවාදී දහමයි. අපිම මේ හිංසනය වටහා ගන්නකම් ඒ දේ හිංසාවක් ලෙස පෙනෙන්නෙ නෑ.
දැන් මිනිස්සු ශිෂ්ට සම්පන්න හෝ අහිංසාව පදනම් කොට ගත් බෞද්ධ දර්ශනය පිහිටා කටයුතු කළ යුතුයි. අද වෙන විට වනය පවා වන සතුන්ට අනාරක්ෂිත වී තිබෙනවා. ඒවාට වගකිවයුතු වෙන්නේද පත් වන පාලන තන්ත්‍රයයි. අලි ඇතුන් නිදහසේ සැරිසරනා වනපෙත් අලිමංකඩවල් නගර ගම් ගෙවල් බවට පත් කරගෙන ඇති නිසා ඔවුන් සුපුරුදු සැරිසැරීම අතර තුර දුම් රිය මාර්ග, මහා මාර්ග අතර ඇවිද අනතුරට ලක්වෙනවා. දිගින් දිගටම කතා කළ යුතු… පිළිතුරු සෙවිය යුතු මාතෘකාවක් හෙයින් මේ කතාව ආරම්භ කළේ. අපේ දරුවන් හට සහවේදනය ඇති සොඳුරු මිනිසුන් වෙන්න උගන්වමු. එතකොට අපේ ඉදිරි පරම්පරාවල කාලයේදී වත් වන සත්ත්ව හිංසන වලකා ගත හැකි වෙනු ඇත.
සංවේගයෙනි
වෛද්‍ය බෝධිනී සමරතුංග
1.https://www.worldwildlife.org/…/the-status-of-asian….
2.https://www.preprints.org/manu…/202012.0271/v1/download….
3.https://www.lcanimal.org/…/elephants/wild-vs-captive
4.https://m.facebook.com/story.php?story_fbid=637601958373415&id=100063708490853&mibextid=Nif5oz
Image credit – Canva app