ඔසප් සනීපාරක්ෂාව යනු කාන්තාවකගේ අයිතිවාසිකමකි – වෛද්‍ය බෝධිනී සමරතුංග
කාන්තා සනීපාරක්ෂක තුවා සඳහා බදු පැනවීම, බදු අඩු කර ඒවායේ මිල අඩු කිරීම සහ නැවත ආනයනිත සනීපාරක්ෂක තුවා සඳහා බදු වැඩි කිරීම විටින් විට කරලියට එමින් කතා බස් කෙරෙන මොහොතක, මැතිවරණ වේදිකාවලදී පවා කාන්තා සනීපාරක්ෂක තුවා නොමිලේ ලබා දෙන්නට පොරොන්දු වන රටක, පොදුවේ සියළු කාන්තාවන් ජීවිතේ එක්තරා කාලයකදී අත්විඳින්නාවූ මේ සංසිද්ධිය විවිද ජන කොටස් සහ සමාජ ස්ථරයන්ට දැනෙන විඳින අන්දම වසර ගණනාවක් මුළුල්ලේ අත් දකිමින් සිටින්නේ ප්‍රසව හා නාරිවේද වාට්ටු තුලදී කාන්තාව සම්බන්ද ගැටළු විසඳමින් සිටින අතරය.
ඔසප් වීම යනු කාන්තාවන් බලෙන් ඉල්ලා ඔවුන් මත පටවාගත් ක්‍රියාවලියක් නොවේ. ඒනිසා ඒ අතිශය ස්වභාවික සංසිද්ධිය නිසා ඇයට ආර්ථික හෝ සංස්කෘතික බාදාකිරීම් සිදුවිය යුතු නොවේ. එය ශිෂ්ටසම්පන්න මානුෂීය සමාජයක හුරුව විය යුතුය.
කාන්තා ශරීරය තුල සිදුවන අතිශය ස්වභාවික ක්‍රියාදාමයක් වන නමුදු විවිද සංස්කෘතීන් තුල විවිද රටවල් තුල ඔසප් වීම ගැන ඇති කර තිබෙන සමාජ හැසිරීම වෙනස් ය. ඒ කුමන අදහස් සමාජ ගත වුව ද ශිෂ්ටාචාරගතවූ මානව සමාජයක ආචාර ධර්ම උතුම්කොට සලකන මිනිසුන් වැඩියෙන් සිටිනා මානව සමාජයක කාන්තාවකට සිය භෞතිකමය ශරීරය විසින් උරුම කර දී ඇති තත්ත්වයක් වෙනුවෙන් තමන්ගේ සෞඛ්‍යට තර්ජනයක් නොවන ලෙස කළමණාකරනය කරගැනීමට අවශ්‍ය සහන සැලසීම සමාජයක වගකීමක් ලෙස මම දකිමි.
ඔසප් සනීපාරක්ෂක කළමනාකරණයෙහි ( menstrual hygiene management ) වැදගත්කම කාන්තා කායික සෞඛ්‍යය යටතේ පැහැදිලි කර දෙන්නේ ‘ඔසප් කාලයේදි, රුධිරය අවශෝෂණය කළ හැකි පිරිසිඳු, ඔසප් කළමණාකරන ද්‍රව්‍යය භාවිතය සහ පිරිසිඳු වීම සඳහා සබන් ජලය යන දෑ භාවිතය පිළිබඳව සමාජීය අවබෝදය පුළුල් කරමිනි.
“මම වැඩි විය පත්වුණු දවසේ ඉඳන් ඇන්දේ රෙදි කෑලි. ඒවා ගෙදර ගැහැණු අය භාවිතා කරන පරණ වුණු චීත්තවලින් කපාගත්තු ඒවා. අනික ළිඳ ළඟ ඒවා හෝදන්න රෑ වෙනකම් ඉන්න වෙනවා. නැත්නම් හැමෝටම පේනවනේ. රෑට වනලා උදේට ඒව ගන්නත් ඕනේ කාටවත් පේන්න කළින්.” මේ අප රටේ මෙන්ම ලෝකයේ බොහෝ ගැහැණුන්ගේ ඔසප් කතන්දරය ය.
අප රටේ රජයේ රෝහල් ප්‍රසව හා නාරිවේද වාට්ටු තුල අදටත් “සනීපාරක්ෂක තුවා” (sanitary pads) සුළු සේවිකාවන් අතින් නිර්මාණය වී විෂබීජාණුහරණය කර භාවිතා වේ. එසේ සකස් කරන්නේ එහි එන බහුතරයක් සනීපාරක්ෂක තුවා ගෙන එන්නේ නැති, සනීපාරක්ෂක තුවා භාවිතය පිළිබඳව දැනීමක් නොමැති, වාණිජ සනීපාරක්ෂක තුවා කිසි දිනෙක භාවිතා කර නොමැති කාන්තාවන් නිසා ය. අපට වාට්ටු තුල හමුවන කාන්තාවන්ට අනුව එය මහා මුදල් නාස්තියකි. එකල එනම් 2010 දී රුපියල් 100 හෝ 200ක දෛනික ආදායමක් ලබන ඔවුන්ට රු 80-100 පමණ වූ සනීපාරක්ෂක තුවා පැකට්ටුවක් යනු මහා නාස්තියකි. “ඕවා ඇඳලා විසිකරන්න ඔච්චර ගෙවන්නේ කොහොමද ?” වන්නියේ හමුවූ ස්ත්‍රීන් මාගෙන් විමසුවා මතක ය.
අදටත් අප රටේ බහුතරයක් ආර්ථික අපහසුතා ඇති සමාජ ස්ථරයන් හි, මිලදී ගැනීමට ඇති එක් වරක් පමණක් භාවිතා කළ හැකි කාන්තා සනීපාරක්ෂක තුවා භාවිතය අවම ය. ඒ වෙනුවට සෝදා පාවිච්චිකරනා රෙදි කැබලි භාවිතා කරයි. මේවා බොහෝ විට වේලාගන්නේ ද කාටවත් නොපෙනෙන තැනක වැනීමෙනි. මාස් ශුද්ධිය ඇති වීම සමාජයේ කාන්තාවන්ට දැරිවියන්ට අතිශය වේදනාකාරී අත්දැකීමක් බවට පත්වෙන්නේ එලෙසය. මෙසේ අපිරිසිඳු රෙදි කැබලි හෝ වැඩි වේලාවක් පැළඳ සිටින සනීපාර්ක්ෂක තුවා මඟින් බැක්ටීරියා දිලීර ආසාදන සම මතුපිට මෙන්ම මෞත්‍ර ලිංගික පද්ධතිය ආශ්‍රිතවද ඇතිවීමේ අවධානමක් පවතී. පැය 4 කට වඩා භාවිතා කරන සනීපාරක්ෂක තුවා මත බැක්ටීරියා සහ දිලීර වර්ධනය වන බව පර් යේෂණ මගින් පෙන්වා දී ඇත.
ඉන්දියාවේ ඔඩිෂා හි 2018 සිදුකර ඇති එවැනි පර් යේෂණයකදී පෙන්වා දී තිබුනේ මාස් ශුද්ධිය ඇතිවන කාලයේදී ඒ සඳහා භාවිතා කරන අපිරිසිඳු ආකාරයේ ක්රමොපායන් සහ කාන්තා ප්‍රජනන සෞඛ්‍යයට හානි ගෙන දෙන ආසාදන අතර සෘජු සම්බන්දයක් ඇති බවය. එහි අතුරු ප්‍රථිඵල ලෙස, ප්‍රජනන සෞඛ්‍යයට බලපාන තත්ත්ව මෙන්ම ජීවිත හානි ගෙන දෙන ආසාදන තත්ත්ව පවා ඇතිවිය හැක.
ඔසප් වීමේ කාලය සෞඛ්‍ය සම්පන්නව කළමනාකරණය කර ගැනීමට හැකිවීම කාන්තාවන්ගේ මූලික අයිතිවාසිකමකි. උතුම් මානවීය ගුණදර්ම අගයන, මානව අයිතිවාසිකම් සුරැකීම පිළිබඳව වදවෙන සමාජයක එවන් පහසුකම් වෙනුවෙන් ප්‍රතිපාදන සකස්විය යුතුයැයි මා උදක්ම විශ්වාසකරමි.
ජෛව හායනයට ලක්විය හැකි ඔසප් සනීපාරක්ෂක නිෂ්පාදන හෝ වාණිජමය වශයෙන් ලබා ගත හැකි සනීපාරක්ෂක තුවා, ටැම්පොන් හෝ ඔසප් කෝප්ප භාවිතා කිරීම පුද්ගලික කැමැත්ත අනුව තෝරාගත හැක. එනමුත් ආර්ථිකමය ගැටළු නිසා යම් සමාජයක කාන්තාවන් සහ දැරියන් ඔසප් සෞඛ්යාරක්ෂිත පිළිවෙත් පවත්වා ගැනීමට නොහැකි එම නිසා ඔවුන් සෞඛ්‍ය අවදානම් තත්ත්වයන් හට නිරාවරණය වේ නම් එය ඛේදවාචකයකි.
ශ්‍රී ජයවර්ධන විශ්ව විද්‍යාලයේ Leo සමූහයේ ඇරයුමෙන් ලීවෙමි. වත්මන් ආර්ථික අර්බුධකාරී තත්ත්වය මත පාසැල් දරුවන්ට හෝ සනීපාරක්ෂක තුවා ලබාගැනීම සඳහා සහනයක් ලබා දිය යුතු යැයි සිතමි.
වෛද්‍ය බෝධිනි සමරතුංග
ජීවන වියදම සාමාන්යෙන් ඉහළ සහ මුදලේ වටිනාකම වැඩි ස්වීඩනයේත් සනීප ආරක්ෂක තුවා ලංකාවට වඩා ලාබ බවයි මට දැනී තියෙන්නේ..
ඒ වගේම පිරිමින් ඕනෑ තරම් ප්‍රසිද්දියේ සනීපාරක්ෂක තුවා මිලදී ගන්නවා වගේම ඒවා මිලදී ගන්න කොහේවත් ලජ්ජා වන්නට අවශ්‍ය නැහැ දියුණු රට වල..
ජීවන වියදම සාමාන්යෙන් ඉහළ සහ මුදලේ වටිනාකම වැඩි ස්වීඩනයේත් සනීප ආරක්ෂක තුවා ලංකාවට වඩා ලාබ බවයි මට දැනී තියෙන්නේ..
ඒ වගේම පිරිමින් ඕනෑ තරම් ප්‍රසිද්දියේ සනීපාරක්ෂක තුවා මිලදී ගන්නවා වගේම ඒවා මිලදී ගන්න කොහේවත් ලජ්ජා වන්නට අවශ්‍ය නැහැ දියුණු රට වල..