මෑතක රූපවාහිනි තරු වැඩසටහනක, ඇඟිල්ලක් නැමෙන්නේ තමන්ගේ පියාට වූ අනතුරක් නිසා යැයි කියන පුද්ගලයෙකු අල්ලා ගෙන ෆෙස්බුක් සටහන් ලියැවෙනු පෙනේ. ඒ සඳහන් කළ වීඩියෝ ව මම ද නැරඹුවෙමි. ඇත්තටම බොහෝ දෙනෙක් ඒ කෙනාට අවමාන කරන්නට ලියා තිබුනා ට මට ඒ කතාව ගැන පුදුමයක් නොවන්නේ. ඊට වඩා දේවල් මම මේ රැකියා කළ කාලයේ සමාජයෙන් අසා තිබෙන නිසා. අපි නොදන්නා දේ ගැන කවුරුන් හෝ අපිට කියලා දුන්නු දෙයක් හෝ සමාජයේ මුල් බැසගෙන තිබෙනා දෙයක් අපි විශ්වාස කළ නිසා. ඒ දෙය වැරදි හෝ බොරුවක් හෝ පදනම් විරහිත බව වෙනත් කෙනෙකු අපට කියා දෙනකම්, අපි ඉගෙන ගන්නකම්, පරීක්ෂණ මඟින් ඔප්පු කරනකම් අපි කොයි තරම් නම් කාලයක් ඒවා විශ්වාස කළාද කියන එකයි.
ඒ කෙනා වුනත් වැඩිහිටියන් විසින් පෙන්වා කියා දුන් දෙය විශ්වාස කරන්නට ඇති, එය ඇත්ත නොවේ කියා සමාජ මාධ්‍ය ජාල ඔස්සේ පෙන්වා දෙනකම්. ඒ කෙනා දැනන් හිටියා නම් ඇඟිල්ලක් නැවෙන එකේ පදනම එය නොවන බව සහ එම hyperflexibility තත්ත්වය ඒ කෙනාට ක්‍රියාකාරකම් කිරීමට අපහසුවක් නොවන බව. ඒ කෙනා දැනගෙන උන්නා නම් සමහර විට එසේ නොකියන්නට පුලුූවන්. මේ තත්ත්වය ජාන මඟින් සම්ප්‍රේෂනය වන තත්ත්වයක්. එය රෝගයක්ම කියා කියන්න නොහැකියි, මොකද සමහර සින්ඩ්‍රෝම් තත්ත්ව වලදී වගේම කිසිම ගැටළුවක් ඇති නොකරන ලෙස මෙසේ අධි නැවීමක් සහිත ඇඟිලි පිහිටන්න පුළුවන්. මේ ගැන වැඩිදුර කියවන්න පුළුවන් ලින්ක් මම මේ සටහනේ අවසානයේ අමුණන්නම්.
ඒවගේ තවත් අදහස්/ කතා තියෙනවා කවුරුත් හොයන්නෙ නැති….
“බාලගිරි අද නොවේ හෙට” අපි කොච්චරවත් දොර උළුවහුවල ලියනවා දැකලා තියෙනව නේද ? ඒකට ඇත්තම හේතුව මොකක්ද කියන එක දන්නේ කීයෙන් කීදෙනා ද ?
මම ළමා රෝග වාට්ටුවේ වැඩ කරන කාලයේ, රෝහලේ ප්‍රාජා වෛද්‍ය අංශයේ කටයුතු කළ හෙදිය රුක්ෂානි මිස් ඇවිත් ඇවිටිලි කළා ගර්භනී මව්‍වරුන් වෙනුවෙන් නව ජන්මයා හෙවත් අලුත උපන් බිළිඳුන් ගැන උපදෙස් දෙන්න එයාලා ගෙන යන වැඩසටහනට මසකට වරක් සහභාගි වෙන්න කතා කරන්න කියලා. ඒ කාලයේ මම පොත් ගැන කොහොමත් කතා පවත්වන නිසා අපේ එවකට ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයා ගෙන් ඇවිත් ඉල්ලා සිටියා, අවසර දෙන්න කියා. නිකම් වෛද්‍යවරයෙක් කොහොමද එහෙම කතා පවත්වන්නෙ, මම කියන්නම් ඕනෑ දේවල් කියා ඔහු වාට්ටුවෙන් මාරුවී යන තෙක් දැනුවත් කිරීම ඔහු පිට පවරා ගත්තා.
ඔහු මාරුවෙලා ගිය පසු විශේෂඥ වෛද්‍යවරියක අප වාට්ටුවට ආවා. ඇයට මේ වැඩේ ගැන රුක්ෂානි මිස් කියද්දීම ඇය කීවේ “මේ ඉන්නේ කතා කරන්න පුළුවන් අය…මම කරන්න ඕනේ නෑ. මෙන්න මෙයාට පුළුවන්” එහෙම කියද්දී මට පුදුම හිතුනා. සමහර ගුරුවරු /අපේ ප්‍රධානීන් අපගේ හැකියා හඳුනාගෙන අපව වැඩි දියුණු කරනවා. එහෙම කෙනෙක් තමා උත්තරා හිදැල්ලාරච්චි විශේෂඥ වෛද්‍යතුමිය. ඇය මට මෙලෙස සායනවලදී ගර්භනී මව්වරුන් දැනුවත් කිරීමේ කාර්යය බාර කළා. බටහිර වෙදකමේ, කොලික් කියා හඳුන්වන ලංකාවේ බාලගිරි කියා හඳුන්වන, ඒ විස්තරේ අලුත් අම්මලා තාත්තලාට කියා දෙන්න මට හැකි වෙන්නේ ඒ අනුව.
මොකක්ද එහෙනම් බාලගිරි දෝසේ…
ඉංග්‍රිසියෙන් මෙහෙමයි විස්තර කරන්නේ “Colic occurs when a healthy baby cries for more than 3 hours a day at least 3 days per week for more than 3 weeks. Colic can start a few weeks after birth (familydoctor.org)
කොලික් නම් මේ තත්ත්වය පටන් ගන්නේ ඉපදිලා මාසයක් වගේ යද්දී… ඒකට හේතු මේ මේ යැයි පෙන්වන්න නැහැ. හැබැයි යම් යම් පැහැදිලි කිරීම් තියෙනවා. ඇතැම් හේතු ලෙස පෙන්වා දෙන්නේ දවස පුරා තමන් අලුත් පරිසරයක ශබ්ද සංවේදනා දැනෙන්න ගන්නා කාලය එද්දී ඒ කියන්නේ ඉපදිලා සති කිහිපයක් යද්දී දරුවාට ඒ දැනෙන වෙහෙස, සංඥා සංවේදනා ශබ්ද එක්ක ඒ දැනෙන වෙහෙස මෙහෙම අඬලා කෑ ගහලා පිට කරන බව, තවත් අදහසක් තමා හරියට තවම නොවැඩුණු ආහාර ජීර්ණ පද්ධතියේ ඇති වන අපහසුතාවය, වාතය පිරීම වගේ දේවල්, ළදරු කිරි, ආහාර දෙනවානම් ඒ නිසා ඇතිවන අපහසුතා. දරුවෙක් පිළිසිඳ ගත් දවසේ ඉඳන් කුස තුළ වැඩෙන්නේ වතුර පිරුණු පරිසරයක. ඇහෙන ශබ්ද මේ අපි කතා කරන ඒවා නොවෙයි. රුධිර වාහිනීවල රුධිර පොම්ප කරන ශබ්ද ෂ් ෂ් ෂුෂ් වගේ, හෘදය ගැහෙන ශබ්ද, එවා තමා ඇහෙන්නේ. දරුවා එළියට ඇවිත් අමුතු ශබ්ද ගොඩක්, සහ දැනෙන අපහසුතා එක්ක මෙහෙම හවසට හැඬීමෙන් ඒ සියලු අපහසුතා පිට කරන බව. මෙවෙලෙට කොච්චර කිරි දුන්නත් නැලවෙන්නෙ නැති බවත් ඔබට මතක ඇති. බටහිර ක්‍රමවේද වල වයිට් නොයිස් white noise කියලා සංගීතයක් පාවිච්චි කරනවා මෙහෙම අඬන බබාලව නළවන්න. එය හරියට දූවිලි පිසින යන්ත්‍රයක ෂුෂ් හඬට සමානයි. ඒ නිසා සමහර අම්මලා ෂ්…. හඬින් දරුවෝ නළවනවා බටහිර රටවල ප්‍රචලිතයි. ලංකාවේ නම් ළමයා එහෙට මෙහෙට හොළවමින් උඩ පනිමින්… දොයි දොයි දොයි… කියමින් තොවිලයක් නටන වැඩිහිටියන් මට මුණ ගැසී තිබේ. අපේ වාට්ටුවේදි වුනත් එසේමයි.
මේ කොලික් හෙවත් බාලගිරි නිසා දිගුකාලීන අපහසුතා දරුවාට ඇතිවෙන්නෙ නෑ. ඒත් වෛද්‍ය තොරතුරු සටහන් පෙන්වා දෙනවා අම්මලාට මේ නිසා විශාදිය හෙවත් depression තත්ත්වය, ඉක්මනින් දරුවා කිරි වැරීම, සහ වැඩිහිටියන් අතර හිත් අමනාපකම් ඇති විය හැකි බව.
අඬන බිළිඳුන් එහෙ මෙහෙ අතට හොළවා නැළවීම තුළින් ළදරුවන්ගේ මොළය හෙල්ලීම හෙවත් shaken baby syndrome කියන තත්ත්වය පවා ඇති විය හැකියි. මේ තත්ත්වය ඔබට ගූගල් කර බැලිය හැකියි.
ඔව් ඔබ නොදන්නා අත්භූත යමක් ඔබට ඇසුනොත් ඒ ගැන සිංහලෙන් හෝ ඉංග්‍රීසියෙන් ඔබට ගූගල් වෙබ් අඩවියේ සෙවුමෙන් එහි ඇත්ත නැත්ත වටහා ගත හැකියි.
ඉතින් අපි වටහා ගත්තා මෙහෙම දේවල් ගැන අම්මලා තාත්තලා දැනුවත් කළොත් අපිට පුළුවන් යම් තරමකට ඔවුන් කම්පා වෙන එක, බාලගිරි කියල යක්ෂයෙක් එනව හෝ දෝසයක් එනව කියලා බය වෙන එකෙන් ඔවුන්ව මුදවා ගන්න. ගොඩක් අය ඉන් පසු යූටියුබ් එකෙන් වයිට් නොයිස් ගැන හොයා බලා තිබුනා. ඒ බව කීවා ස්තූති කළා. මම රෝහලින් යනකම්ම ඒ ගර්භණී සායනවල දී අපේ දැනුවත් කිරීමේ වැඩේ කරගෙන ගියා. එහිදී කිරි දීම වගේම නොයෙකුත් රෝගාබාද ගැනත් දැනුවත් කළා
ඉතින් අපිට වැරදෙනවා. එහෙම වෙන්නේ අපිට වැරදි උගන්වලා හෝ දීර්ඝ කාලීනව සමාජගත වූ වැරදි මතයක් අපි කරපින්නාගෙන යෑමෙන්. හරියට මේ දවස්වල අපේ රටේ සිදුවෙන සිදුවීම් වගේ. රටට අගතියක් වෙන දේවල් ගැන අපිට කොන්ද කෙලින් තීරණයක් ගන්න බැරි වෙලා තියෙන්නෙ මේ නිසා.
මම එලෙස නොයෙක් කාලයන්වල අත් දුටු කතා කිහිපයක් මෙතන ලියන්නේ ඔබේ දැනුවත් වීමට.
“ඩොක්ටර්..”
මව දරුවා ඇඳෙහි තබා මවෙත පැමිණ යම් අපහසුතාවයකින් යමක් අසන්නට මෙන් සැරසෙයි.
“ඇයි අම්මා”
“පුතා සුයිමිං (swimming) කරන්න ගත්තට පස්සේ, මොලේට වතුර යනවත් වැඩි ඇති නේද?”
මෙවැනි අන්ඩර දෙමළ කතා අහලා අහලාම මේවට හිනාවෙන්න හෝ කලබල නොවෙන්න තරම් මානසිකත්වයක් අපට ඇතිවෙලා තියෙන නිසා හොඳයි.
” ඇයි අම්මාට එහෙම හිතෙන්නේ”
“නෑ වතුර යටදි නහයෙන් මොලේට වතුර යනවනේ” ඇගේ නොදැනුවත්කම මට මැනවින් වැටහිනි.
ඉන්පසු එළඹුනේ රූප සටහන් මගින් ඇයට මිනිසාගේ හිස්කබල මොළය සහ නාසය උගුර කට පිහිටා ඇති අන්දම පැහැදිලි කිරීමේ කාලයකි. ඇයට ඇඳ පැහැදිලි කළාම ඇය ඒ ගැන පිළිගත්තා.
ඒත් ඇයි අපි කුඩා කාලයේ ඉගෙන ගන්නා විද්‍යාව පාඩම් මේ තරම් ඉක්මනට අමතක කරන්නේ?
මද වෙලාවකින් පසු නර්ස් නෝනා කෙනෙක් “ඩොක්ටර් ………මොකද මේ බී එච් ටී (ඇඳ ඉහ පත) එකේ මූණු ඇඳලා… ඇනටමි පාඩමක්වත් කියලා දුන්නද ?” කියා අසයි.
මේවගේ අමුතු කතා අඩුවක් නැත
…………………
ගර්භනී අම්මාවරුන්ව පරීක්ෂා කරද්දී බඩේ නියපොතු පාරවල් තිබුනොත් අපි විශේෂයෙන් ඒ ගැන වද වෙනවා… ඇතැම් විට එය අක්මාව සම්බන්ධ රෝගාබාද තත්වයකට මුල පිරීමක් දෝ කියලා හිතලා. ඔන්න ඉතින් එහෙම හිතන් අම්මෙක්ගේ බඩ පරීක්ෂා කරනකොට, ඇගේ කුසේ සීරිම් පහරවල් තිබුනා.
“අම්මේ බඩ කසනවා ද?” මම ඇසුවා
“නෝනා දන්නවද බඩ කසන්නේ ඇයි කියලා ? ඇතුලේ ඉන්න බබාගේ කෙස් වදිනවා බඩේ ඒකයි”
ඇය මට කියනවා.
දැන් මට වෛද්‍ය ශිෂ්‍ය සමයේ උගත් human anatomy පාඩම, ගර්භාශය, දරුවා දක්වා තිබෙන පටල ප්‍රමාණය. ඉන්පසු උදරයේ හමේ සිට පහලට තිබෙන ස්ථර සියල්ල සිහිවේ.
අත පය , හිස, මේවානම් උදරය අල්ලා බැලූ විට දැනේ ඒත් කෙස් ? දැන් ඇයට මෙය පැහැදිලි කරන්නේ ?
” මේන් මෙච්චරක් විතර ඝනකමක් තියෙනවා . අම්මේ ඉතින් කොහොමද ඔයාගේ හමට බබාගේ කෙස් දැනෙන්නේ මෙහෙම වෙන්න පුළුවන් වැඩිම හේතුව හෝමෝන වෙනස්කම් තමා.” මම ඇයට පැහැදිලි කරමි. යන්තම් ඇතිවන මේ කැසීම් තත්ත්වය බරපතල නෑ. එහෙත් ගර්භණී සමයේ අක්මාව සම්බන්දයෙන් ඇතිවන රෝග තත්ත්වයේදීත් කැසීම රෝග ලක්ෂණයක් නිසා අපි ඒ ගැන වඩා සැලකිලිමත් වෙන්නෙමු.
“ඕවා ඔයාලට තේරෙන්නෙ නෑ. ” කියමින් ඇය නිහඬ වෙයි. අපරාදේ පැහැදිලි කරන්න ගිය කාලය ! මම සිතින් සිතමි. බොහෝ විශ්වාස වලට පදනමක් නැති වුනත් ඒවා සමාජයේ මුල් බැසගෙන ඉවරයි.
එහෙත් අපි වඩාත් විමසිලිමත් වෙමු. සමාජය විසින් මුල්බැසගත් කාරණාවල ඇත්ත නැත්ත සොයා බලමු. හැම විටම පර් යෙෂණ පත්‍රිකා වගේ ඒවා කියවා කරුණු කාරණා සොයා බලමු
මහපට ඇඟිල්ල අනිත් පැත්තට නැවෙන එක ගැන … බාලගිරි සහ බඩ කැසීම මගේ සත දෙක ඔයාලට ලිව්වේ දැනුවත් කරන්න.
ඔව් අරගලය අස්සේ මේවාත් ලියන්න වෙලා මොකද මේවගේ දැනුම හොයාගෙන යන්නේ නැති මිත්‍යා විශ්වාස රැඳුණු සමාජයක් රවට්ටන්න හරි ලේසියි.
චේ ගුවේරා… එ ක අවස්ථාවක කියනවා විප්ලවයක අවශ්‍යම කාරණාව දැනුමෙන් සන්නද්ධ වීමයි කියලා …
ඉතින් මම මතක ඇති කාලෙක ඉඳන් කරන්නේ ඔයාලව දැනුමෙන් සන්නද්ධ කරන එක…
………………………………
වෛද්‍ය බෝධිනී සමරතුංග
අධි නැවෙන සුළු ඇඟිලි – https://www.nhs.uk/conditions/joint-hypermobility-syndrome/
බාලගිරි අද නොවේ හෙට ගැන https://www.mayoclinic.org/…/symptoms-causes/syc-20371074