මේ ලියලා තියෙන්නේ නම් දෂ්ඨ කරන කකුල් දෙකේ සර්පයෝ ගැන නෙමේ… කකුල් නැති සර්පයෝ ගැන. ඔබට වැදගත් වේවි කියා හිතුනා.
කාපු සතා දන්නවා ද?
(සුව මග මතක – විදුසර පුවත්පත)
“ඩොක්ටර්…. මෙන්න මේකා අඳුන ගන්න… මෙතනින් අයින් කරන්න ඕනේ”
කොරිඩෝවේ සිටින හෙදිය මා අමතයි. රෝගියා පරීක්ෂා කර බලා සායනික ඉතිහාසය ලියා ගන්නා අතර ඔවුන් සමග එන සර්පයින් හඳුනා ගන්නත් සිදු වෙනවා. බොහෝ විට ඒ පෙදෙස්වල පිරිස උන් අල්ලා බෝතල්වල හෝ ප්‍රාණය නිරුද්ධ කර ගෝනි, හෝ පොලිතීන් මලුවල, දමා රෝගියා සමග ගෙන එනවා.
“කාපු සතා දන්නවා ද ?” එසේ එන අයගෙන් අහනවා. ඒ ඔවුන් සර්පයා දැක තිබෙනවා හෝ හඳුනාගත්තා යැයි සිතා.
“දන්න සතෙක් නම් ඌ කාවි යෑ ඩොක්ටර්” කියලා රෝගින් කියනවා. ඒක හරි ප්‍රසිද්ධ විහිළුවක් ලෙසත් අන්තර්ජාලයේ තිබෙනවා දැක්කා.
එක් දිනක් ගෝනියක දමා ගැට ගසා ගෙන ආ සර්පයා හඳුනාගෙන බෙහෙත් නියම කළ පසු අප වාට්ටුවට අලුතෙන් පත් වී ආ සීමාවාසික වෛද්‍යවරයා ද එදෙසට පැමිණියෙන්, “මේ බලන්න මේ මල්ලේ” යැයි කීවා පමණි. ගෝනිය කඩි මුඩියේ ඇර බැලූ ඔහු කපා හෙළූ කඳක් මෙන් අසල පුටුව මත වැටුනේ “බුදු අම්මෝ” යැයි කියමිනි, ඒ සර්පයා ඒ වන විටත් සිටියේ දඟලමිනි. ඔහු තුල සර්පයින්හට දැඩි බිය ක් තිබෙන බව අප හා පසුව පැවසු අතර අප එය දැන සිටියේ නෑ. එලෙස ගෙන එන සර්පයින් අසල වන රොදකට මුදා හරින්න රෝහලේ අය කටයුතු කරනවා.
නිරිත දිග මෝසම් වැසි සමය ආරම්භ වන විටම උතුරු කොන රෝහල් වාට්ටු පිරී යන්නේ සාමන්‍ය වෛරස් උණ තත්ත්වයේ සිට ඩෙංගු, ඇදුම නියුමෝනියා තත්ත්ව වලින්. ඊට අමතරව මේ පෙදෙස්වල බහුලව සිටිනා සර්පයින් හා සම්මුඛ වූ මිනිසුන් ද ඔවුන්ට සිදුවූ දෂ්ඨ කිරීම් සමග රෝහල් ගත වේ. ඇතැම් කාලවල දී මී උණ ත් අඩුවක් නැතිව ඇත්තේ කුඹුරු වෙල් යාය ආශ්‍රිතව මඩ වතුර සමග එකතුවන මීයන්, බල්ලන්, හරකුන් වැනි සතුන්ගේ මූත්‍රා වලින් එකතු වන බැක්ටීරියා නිසා ය. ලෙප්ටොස්පයිරෝසිස් නමින් හැඳින්වෙන්නේ මෙයයි.
සිරි සිරි පොදින් වැහි ඇද වැටෙද්දී මඩ කඩිති පැන රෝහල් භූමියේ ඇවිද යද්දී ඇහැ ගැටෙන සර්පයින්ද අපමණය. මා ඇතැම් විට පා පැදියේ යද්දී නම් ඔවුන් බේරන්නට වෙට්ටු දමන්නට සිදුවේ. බොහෝ විට හමුවෙන්නේ දෂ්ඨ නොකරන විෂ රහිත අයවලුන් ය. අප නේවාසිකාගාරය දොර ළඟටම ඇතැම් විට ගං වතුර ගලා ඒ. ඒ දිගේ පාව යන සර්පයින්ද වරක් ඉතා විශ සහිත පොළඟුන් ද දැක්කෙමි.
නේවාසිකාගාරය වැට අයිනෙන් රෝහල් භූමියේ තුරු වදුල් කුඩා පඳුරු ඇතු බිම් කොටසට ඇතුල් වෙන පිටවෙන නිතරම දකින කළු දිග නයා නම් අපව දන්නා හඳුනන බවක් පෙන්වයි. එයා නම් ඈත තියා දකින්නට තරම් දිග සහ මහත ඇත්තෙකි. දිනක් බයිසිකලය නවත්වා ඒ ඇත්තා පාර මාරුවී පිට්ටනිය දෙසට යන තුරු බලා සිටින විට ඈත තියා ඇවිදන් ආපු සිකියුරිටි මහත්මයෙක් මා නවතන් ඉන්නේ ඇයිද විමසද්දී , “අන්න අරයා යනකම් කියා” පෙන්වූ සැනින් මේ මනුස්සයා, අහල තිබුනු ලීයක් උස්සාගෙන එද්දී මා එපා කියූවත් ඔහු නොවේ කනකට ගත්තේ. මම හරවගත්තු බයිසිකලය වැර යොදා පාගා ඉවතට පැද ගියෙමි. නයාට ගහලා පොල්ල වරද්දාගන්න එපා කියන කියමන මේ මනුස්සයා නම් දන්නේම නැත කියා වැටහුනේ එදිනය. ඒ පහර සර්පයා ට නොවැඳුනු නමුත්, බොහෝ වෙලාවක් පෙනේ පුප්පාගෙන අර මනුස්සයා දෙස බලා සිටිය බව මතකයි. සතා සීපාවාට වුනත් ඔවුන්ගේ පාඩුවේ ඉන්න ඉඩ දීමෙන් ඔවුන්ගෙන් අනතුරක් නොවන බව අප කුඩා කල සිට අසා දැන ගත් කතන්දරවල ඕනෑ තරම් පැහැදිලි කරයි.
මග මරුවා නමින්ම හැඳින්වෙන තෙල් කරවලා, වැලි පොළඟා, තිත් පොළඟා, පොළොන් තෙලිස්සා යන මේ සර්පයන් බොහෝ විට හමුවෙන්නේ උතුර සහ උතුරුමැද වැනි වියළි සහ ශුෂ්ක කලාප වලින්. ඒ හැරුණු කොට නාගයා සහ මුදු කරවලා නම් තෙත් වියළි හැම ප්‍රදේශයකම ඉන්නවා. මේ අතරින් නාග විෂ ස්නායු පද්ධතිය අකර්මන්‍ය කරන්නාවූ විෂක්. සියලු මාංශ පේෂී සහ ස්නායු පද්ධතියේ අකර්මන්‍ය තාවය නිසා ශ්වසනය, ආහාර ගිලීම පවා අපහසු වෙනවා. රසල්ස් වයිපර් හෙවත් තිත් පොළඟා තමයි වැඩි පුරම අප වෙත එන සර්ප දෂ්ඨ කිරීම් වලට හේතුව වෙන්නෙ. තිත් පොළං විෂ ශරීර ගත වුණු විට බලපාන්නේ රුධිර සංසරණ පද්ධතියටය. ඒ නිසා ලේ කැටි ගැසීම අඩපන වෙනවා. ලක්ෂන ලෙස මූත්‍රා සමග ලේ පිටවීම, සමට යටින් රත් පැහැ බිබිලි මතුවීම, විදුරුමස් වලින් පවා ලේ ගැලීම් සිදුවිය හැක, එය වකුගඩු අකර්මන්‍ය වීමටද බලපානවා. තෙල් කරවලයා උග්‍ර විෂ සහිත සර්පයෙක් . සපා කෑ ස්ථානය ඉදිමෙනවා දකින්නට ලැබෙනවා, හැබැයි බොහෝ විට නින්දෙන් පසු කෘමි සතෙකු සපා කෑවාක් වැනි රිදීමක් මිසක් තුවාල ලකුණක්වත් සොයා ගන්න බෑ.
ඉතින් අපේ කාර් යය තමා අර ඉහත මා කීවා වගේ දෂ්ඨ කළ සර්පයා හඳුනා ගෙන ප්‍රති විෂ දිය යුතු දැයි රුධිර පරීක්ෂා කර බැලීම. සර්පයින් හඳුනාගත හැකි ලක්ෂණ සහ ඔවුන්ගේ හැඩහුරුකම් ගැන පැහැදිලි සටහන් සහ පෝස්ටර් වාට්ටුවේ තිබෙනවා. සර්පයා හඳුනා ගැනීම අත්‍යාවශ්‍යයි.
වාට්ටුවේදී, කුඩා බෝතලයක අඩියට රුධිරය මිලි ලීටර 1ක් හෝ 2 ක් පමණ දමා මිනිත්තු විස්සකින් බෝතලය හරවා බැලීමෙන් රුධිරය කැටි ගැසෙනවා ද නැද්ද යන්න පැහැදිලි ලෙස දැකිය හැක. ඉතින් එහෙම නොවුනොත් වහාම යලි බෝතලයකට ලේ දමා දෙවන වරට ද පරීක්ෂා කර තහවුරු කර ගෙන, රුධිරය කැටි නො ගැසෙන්නේ නම් පොළොං විෂ නයි විෂ සඳහා නිපදවූ විෂ නසන බෙහෙත් (Anti Venom Serum) ශරීර ගත කළ යුතුයි. ඇතැම් විට මේ ප්‍රති විෂ සඳහා anaphylaxis අධි අසාත්මික තත්ත්වයක් ඇති විය හැක. එය හදිසි ජීවිත තර්ජන තත්වයක් නිසා කෝකටත් අපි හදිසි අවස්ථාවක දී භාවිතයට ගන්නා ට්‍රොලිය සහ ඖෂධ සියල්ල ලෑස්ති කර ගෙන තමා මේ ප්‍රති-විෂ එන්නත් කරන්නේ.
ඉතින් සර්පයෙක් දෂ්ට කළ විට සිදු කළ යුතු දේත් අපි වටහා ගමු. සර්පයා හඳුනා ගත හැකි නම් වඩා හොඳයි. නමුත් කිසි විටක සර්පයා මරා දමා හෝ හානියක් සිදු කරන්න එපා. හඳුනා ගත නොහැකි නම් ජංගම දුරකථනයක් තිබේ නම් පින්තූරයක් අරගෙන සතා නිදහස් කරන ලෙස අපි නිතර දැනුවත් කරනවා. බොහෝ විට දෂ්ට කළ සර්පයා සොයද්දී එම වත්තේ හෝ කුඹුරේ සිටින ඕනෑම සර්පයෙක් අල්ලාගෙන එන හැටිත් අපි දැක තිබෙනවා. එවිට විෂ නිසා ඇතිවන ලක්ෂණ හඳුනාගත් සර්පයාට වඩා වෙනස් වෙනවා. ඕනෑම සතෙක් සපා කෑ හෝ දෂ්ට කළ ස්ථානය පිරිසිඳු ජලයෙන් සෝදා හැර හදිසි අනතුරු ඒකකයට හෝ රෝහලට පැමිණිය යුතුයි. වෙනත් කිසිඳු ආකාරයක අත් බෙහෙත් කිරීම් සිදු කරන්න එපා. ඇතැම් සර්පයින් අධික විෂ සහිත වන අතර නියමිත පරීක්ෂණ සහ ප්‍රතිකාර ලැබුනේ නැත්නම් ජීවිත හානි පවා සිදුවිය හැකි නිසා. මේ ප්‍රදේශ වල එවන් අත්දැකීම් බහුල නිසා රෝහල වෙත ම එන්නට මිනිස්සු දැනුවත් වී තිබෙනවා.
අවසානයේ මේ මහ පොළොව හෝ එහි පරිසරය මිනිසාට අයත් නොවන බවත් අප එම පරිසර පද්ධතියේ ම එක් පුරුකක් බවත් වටහාගත යුතුමයි.
වෛද්‍ය බෝධිනී සමරතුංග
published in Vidusara NewsPaper