මානසික ආතතිය බඩේ අමාරුවක් බවට පත්වීම අපට අමුතු දෙයක් නෙවෙයි. ඉස්සර මගේ අයියාටත් විභාග දින වල උදේට බඩේ අමාරුවක් හැදෙන පුරුද්දක් තිබුණා. දින කිහිපයකට පෙර බඩ රිදීම කාරණාවක් කරගෙන රෝහලට ඇතුලත් වූ අවුරුදු අටක පමණ දරුවෙක් ගෙන් නිසි පරීක්ෂණයකින් හා සංවාදයකින් පසු වෛද්‍යවරිය අසා ඇත්තේ ‘පුතේ හිත ද රිදෙන්නෙ බඩ ද?’ යනුවෙනි. ‘හිත රිදෙන කොට බඩත් රිදෙනවා ඇන්ටී’ දරුවා දුක්මුසු සිනහවකින් කියා ඇත.
පසුව පටන් ගත් වචන ශබ්ද පැටලීම/ගොත ගැසීම නිසා අප වෙත රැගෙන එන දරුවන්ගෙන් බොහෝ දෙනෙක් සමඟ හොඳින් කතා බහ කල විට පාසලේ දී ශාරීරික මානසික හිංසනයට ලක් වීම සම්බන්ධව ඔවුන්ගෙන් දැනගන්නට ලැබෙනවා. දෙමව්පියන් ගෙන් ඇසූ විට ඔවුන් බොහෝ වේලාවට ඒ වෙනුවෙන් යමක් කිරීමට උත්සාහ කර අසාර්ථක වී තිබෙනවා. විදුහල්පති ගුරුවරුන් ට බයයි හෝ ඔවුන්ව ආරක්ෂා කිරීමත්, සමහර ප්‍රධාන පෙළේ පාසල් වල නම් හිංසනය සිදු කරන දරුවන්ට විරුද්ධව පියවර නොගැනීමත් ඒ අසාර්ථකත්වයට හේතුවක්. පැමිණිලි කිරීමෙන් පසු දරුවාට විඳින්නට වෙන හිරිහැරය හා නොසැලකිල්ල දෙමව්පියන් බියට පත් කරනවා. යම් මුල්‍යමය පසුබිමක් සහිත දෙමව්පියන් දරුවන් පාසල් වලින් ඉවත් කර (තමන් ආදි ශිෂ්‍යයන් වන පාසල් වලින් පවා) වෙනත් පෞද්ගලික පාසල් වලට ඇතුලත් කලත් බොහෝ දෙමව්පියන්ට එය විකල්පයක් නොවෙයි. ඒ නිසා
මෙය රජය, අදාළ වෘත්තිකයන්, අධ්‍යාපන සහ වෙනත් සමාජීය පද්ධතීන් එකතු වී පිළියම් සෙවිය යුතු ප්‍රශ්නයක්.
අධ්‍යාපන පද්ධතිය තුල දරුවන්ට සිදුවන පහර දීම් සහ මානසික හිංසනය හිතා ගැනීමට බැරි තරම් ඉහළ ගිහින්. මේ ඉතිහාසයේ සිටම තිබුණු තත්ත්වයක් කියලා ගොඩාක් අය කිව්වත්, දැන් අපි ඉන්නෙ ඉතිහාසයේ නෙවෙයි. දරුවන් හරි වැරැද්ද ඉගෙන ගන්න ගුටි කන්න අවශ්‍ය නැහැ. ලැජ්ජාවට පත්වන ආකාරයේ දඬුවම් විඳින්න, අපහාස වලට ලක්වෙන්න අවශ්‍ය නැහැ. ඒ වගේම කිසිම ආකාරයක හිංසනයකට ලක්විය යුතු නැහැ. ඔබ ගුරුවරයෙක් නම්, පන්ති කාමරය තුල දරුවෙක් තවත් දරුවෙක් ගෙන් හෝ දරුවන් ගෙන් හිංසනයට ( bullying) ලක්වෙනවා නම් එය වැලැක්වීමට යම් පියවරක් නොගන්නේ නම්, ඔබ අපරාධයක් කොටස්කරුවෙක්. ඔබ විදුහල්පති වන පාසලේ දරුවන් ගුරුවරුන් අතින් හෝ වෙනත් දරුවන් අතින් හිංසනයට ලක් වෙන විට එය නතර කිරීමට ඔබට යමක් කල නොහැකි නම්, ඔබ අසාර්ථක පුද්ගලයෙක්. ඔබ මවක් හා පියෙක් නම් ඔබගේ දරුවා පාසලේදී වන හිරිහැර දිනපතා කිය්ද්දීත් ඒ වෙනුවෙන් කිසිමාකාරයක මැදිහත් වීමක් නොකරයි නම් එය ඇත්තටම ඛේදවාචකයක්. අකුරු රවුම් කර ලිවීමට බැරි නිසා කෝටු පාරවල් හෝ ටොකු කෑමට වීම මොන තරම් අවාසනාවක්ද?
විශේෂ අවශ්‍යතා හා විවිධ අභියෝග සහිත දරුවන්ට පාසල් තුල සිදුවන අසාධාරණ වෙනුවෙන් විසඳුම් සෙවීම ට අමතරව මේ තවත් සටනකි. පාසල දරුවන්ගේ අධ්‍යාපනය පමණක් නොව මානසික සෞඛ්‍ය පිළිබඳවද වගකිව යුතුයි. අධ්‍යාපනය සහ සමාජීය කුසලතා දියුණු කිරීමේ නාමයෙන් මානසික සෞඛ්‍ය පිරිහුණු පරම්පරාවකින් රටක් සංවර්ධන කල නොහැක.
යශෝදා හෙට්ටිආරච්චි