මා වැඩ කළ ආයතනයේ චීෆ් ෆාමසිස්ට් එක්ක සේවය කළ ෆාමසිස්ට් මාරුවීම් ලැබ යද්දී සමුගැනීමේ සාදයක් පැවැත්වූවා. එතනදී ආයතනයේ අධ්යක්ෂතුමා හරි අපූරු කතාවක් කීවා.
සහයක ඩැනීලා ගැන ඒ අපූරු කතාවෙන් මතක හිටින ටික මම ලියා තැබුවා.
“මේ සහය දුන්නු ෆාමසිස්ට් ගැන එයාගේ ඉහළ ඔෆිසර් කීව කතා කොච්චර ලස්සනද ? ටීම් එකක සහයෝගය දෙන්න ඕනේ එහෙමයි. ඒත් අද වෙන්නේ මොකක්ද ? කාලයක් තිස්සේ වැඩ කරගෙන කටු කාගෙන ඒකකය පවත්වගෙන එන නිලධාරියාට තව දෙවෙනියෙක් හෝ සහයට නිලධාරියෙක් පත් කළාම එයා සහයක් වෙනවා වෙනුවට අර වැඩ කරන් හිටපු මනුස්සයටත් වැඩ කරන එක නෙමේ ජීවිතේ එපා කරවන තැනට වැඩ සිද්ධ කරනවා. මුදුනා වෙන්න හදනවා. මූගේ තැන නැතිකරලා මම එක වෙන්නේ කොහොමද බලනවා,ඒත් මේ සහාය නිලධාරියා ගැන එහෙම ආකල්පයක් දැක්කේම නැහැ. එයා මේ කරගෙන ආපු දේ කරන්න සහය දුන්නා.”
මම මේ දේවල් කොතෙකුත් දකිනවා. සමහර විට දිගු කාලයක් තිස්සේ මනුස්සයකුගේ කැපවීම සහ ගොඩ නැංවීම දිහා හරි අපහසුවෙන් බලන් ඉඳලා තමන්ට ඒ තැන ගන්න හෝ අර වැඩ කරන මනුස්සයට අංචි අදින්නම තමයි වැඩ.
කාලයක් මම මහත් පසුතැවිල්ලක සිටියා. මගෙන් අප්‍රමාණ උදව් ලබාගෙන, මගෙන්ම බෙහෙත් පවා අහගෙන, ඔවුන්ගේ ජීවිතය පවා ඇතැම්විට බේරා ගත් අවස්ථා එමට තිබුනත් අනික් පැත්තට හිත රිදන සමහර විට ජිවිතය, රැකියාව පවා අවදානමේ යොදන දේ කළ මිනිසුන් ගැහැණුන් ගැන !
ඔවුන්ගේ ක්‍රියා හමුවේ මම මහත් කම්පා වුණා. එහෙම දේ කරද්දී ඔවුන්ගේ හෘද සාක්ෂිය කතා කරන්නේම නැද්ද කියා මම කම්පා වුණා.
මෑතකදී පවා, ලොකුම ගොඩ ඉල්ලා නැහෙන මිනිසුන්, ඇසිල්ලකින් හිත් රිදවන මිනිසුන්, අනෙකාගේ වේදනාව ඉදිරියේ සහවේදනයක් නැති මිනිසුන් හමුවේ මම කම්පා වුණා. කිසිම කතාවක් නැතුව කිසිම සම්බන්දයක් තියා ගන්නැතුව අත් හැර දැම්මා.
“ඔවුන් එහෙම කරන්නේ කොහොමද ?” හිත හිතා මගේ හිතේ සහනය නැතිකරගත්තා. ජේසුට වින කළ ජුදාස් ගැන හිතමින් මගේ ජීවිතේ ජුදාස් ලා හමුවෙන තරමට මම ඔවුන්ගෙන් ඈතට දිව්වා. මම මා ප්‍රවේසම් කරගත්තා. මූනිච්චාවට ආශ්‍රය කළා.
එතකොට මම ජුදාස් කෙනෙක් වුනේම නැද්ද ? මම මාව ප්‍රශ්න කළා.
අවසානයේ එහෙම මිනිස්සුන්ට එහෙමම ඉන්න දෙන්න මම ඉගෙන ගත්තා. ඔවුන්, ඔවුන්ගේ අකුසල හෝ කර්ම ගොඩ වැඩි කරගත්තාවේ. මම මගේ කර්ම ගැන බලා ගන්නවා කියා ඒ සිදුවීම් එලෙසම තියෙන්න ඇරියා. ඒත් එවන් මොහොතවල් තුළ මම ජුදාස් කෙනෙක් වෙලාම නැද්ද ? මම මාව ප්‍රශ්න කළා.
අදටත් මා ප්‍රතික්‍රියාවක් නොදැක්වූ නිසා බොහෝ ප්‍රේමණීය ලෙස ඔවුන් මා හමුවේ රඟපෑම් කරනවා. සමහර විට ඇත්තටම වෙන්නත් ඇති සමහර විට ලාභ ප්‍රයෝජන දිගටම පවත්වා ගැනීම සඳහා, “අනේ මොනවා කීවත් කරත් එයා උදව් නොකර ඉන්නේ නෑ” කියා හිතනවත් ඇති.
මගේ මෝඩකම කියලත් කියනවා ඇති. ඒත් සියල්ල දකිමින් දැනගනිමින් සිටින නිසා අපට ආරක්ෂා වෙන්න පුළුවන්. ඒ එක්කම ඔවුන් ගැන අහිතෙන් වුවද හිතවත්කම දක්වන මා ගැනත් මම දකින්න ගත්තා. මමත් ජුදාස් කෙනෙක් වෙලාම නැද්ද ? එහෙම අවස්ථා මතක් කරගත්තා.
ජේසුස්වහ්න්සේ දැනගෙන හිටියා ජුදාස් ඔහුව පාවා දෙන බව, ඔහුට විරුද්ධව කටයුතු කරන බව ඒත් ඔහු ට එන්න දුන්නා, ඔහුටත් අවසාන භෝජනයේදී ආහාර දුන්නා ඔහුටත් තම සුරතින් ආහාර කැව්වා.
ජීවිතේ මොනයම් මොහොතක හෝ අපි කවුරුත් ජුදාස් කෙනෙක් වෙන්න ඇති…ඒ දේවල් එහෙමම දැනෙන්නත් ඇති. අපටත් එහෙම ජුදාස්ලා අනන්ත හමුවෙන්න ඇති. ඒ මොහොතේ අපි සියළු බැඳීම් කඩා බිඳ දමා අත්හරින්නත් ඇති. ඒත් අපි හැසිරිය යුත්තේ ජේසුතුමා හැසිරුණු ආකාරයට යි.
ඒක මෝඩ කම, නිවට කම, රැවටෙන සුළු වීම කියා අපහාස කරන්නත් පුළුවන්. හැබැයි ඒක තමයි විදිහ.
වෙලාවකට අපි හැමෝම ජුදාස් ලා, වෙලාවකට අපි හැමෝම ජේසුලා.
ජේසු දැනන් හිටියා ඒත් ජුදාස්ව එලෙව්වේ නෑ.
බුදුන් දැනන් හිටියා ඒත් දෙව්දත්, අම්බපාලී හෝ චිංචිමාණවිකාව පස්සෙ දුව දුවා එලෙව්වේ නෑ.
වෛද්‍ය බෝධිනී සමරතුංග