කාරුණික මනුස්සයෙක් නපුරට මුහුණ දුන්නාම සිද්ධ වෙන ලොකුම අපරාදය මොකක්ද දන්නවද?
ඒ, අර කිව්ව මනුස්සයාව තුවාල වීමවත් රිදීමවත් බිඳ වැටීමවත් නෙමෙයි. ඒ, අර මනුස්සයාගේ හදවතේ රැඳුණු තෙත්බව බිංදුවෙන් බිංදුව අහක් වෙලා යෑම.
රිදීමකට පසුව මනුස්සයෙක් සම්පුර්ණයෙන් සුවපත් වෙන්න නම් ඔහුට/ඇයට හරිම ඛේදනීය දෙයක් කරන්න වෙනවා. ඔහුට/ඇයට සිද්ධ වෙනවා තමන්ගේ ජීවිතයේ ඇතැම් කොටස් සදහටම ඉරලා දාන්න. සැත්කමක් කරනවා වගේ ඒ කොටස් ජීවිතයෙන් බැහැර කරන්න. වෙනත් මනුස්සයෙක්ව විශ්වාස කිරීමේ හැකියාව, ඔවුන්ට තමන්ගේ හදවත විවෘත කිරීමේ හැකියාව, කොන්දේසි විරහිතව ඔවුන්ට උදව් කිරීමේ හැකියාව, ජීවිතය පිළිබඳ බලාපොරොත්තු තබා ගැනීමේ හැකියාව සහ ඇතැම්විට මිනිස්සුන්ට ආදරය කිරීමේ හැකියාව පවා අර විදිහට ජීවිතයෙන් කපලා අයින් කරන්න මිනිහෙක්ට සිද්ධ වෙන්න පුලුවන්. මේ සියල්ලෙන්ම වෙන්නේ ඔවුන්ගේ හදවතේ ළතෙත්බව ක්‍රමයෙන් සිඳී යාම වුණත්, ඔවුන් එය කළ යුතුම වෙනවා. මොකද එහෙම නොකළොත් දීර්ඝ විඳවීම්වලට මුහුණ දෙන්න වේවි කියන හිතුවිල්ල ඔවුන් තුළ ඇති වෙනවා. වේදනාවට මිනිස්සු බයයි.
මේ සටහන ලියන මම වගේම මේ අකුරු කියවන ඔබත්, ජීවිතය විවිධ සැත්කම්වලට බඳුන් කරපු මිනිස්සු බව මම දන්නවා. පහුගිය කාලයේ සමාජ මාධ්‍ය ජාලාවල විහිලුවක් වෙච්ච ‘මගේ ඇතුලේ ඉන්න සංවේදී මිනිහා මිය යමින් ඉන්නවා’ කියන කතාව බරපතල සත්‍යයක් බව ඒ කතාවට හිනා වෙච්ච අපි හැමෝම දන්න බව මම දන්නවා. අපේ ජීවිතය අපෙන් වඩ වඩාත් ඉරිලා අහක් වෙන්න වෙන්න අපි වඩාත් නිශ්චල නමුත් දුක්බර සහ හුදෙකලා මිනිස්සු බවට පත් වෙන්න ගන්නවාදෝ කියලා වෙලාවකට මට හිතෙනවා. පුංචි දරුවෙක්ගේ හදවතේ තියන නිරන්තර ප්‍රීතිය සහ උද්යෝගය, උස් මහත් වෙන්න වෙන්න අපිට අහිමි වෙන්නේ ඒ නිසා වෙන්න ඕනේ. තරුණ දරුවෙක්ට ඉන්න හිත මිත්‍රයෝ කන්දරාව, ඔහු/ඇය වැඩිහිටියෙක් වෙනකොට අතේ ඇඟිලිවලින් ගණින්න පුලුවන් කුඩා මිතුරු කවයකට සීමා වෙන්නේ ඒ නිසා වෙන්න ඕනේ.
මගේ හදවත සහ මනස අකම්පිත දිය තලයක් වගේ පවත්වාගන්න මම දිනපතා උත්සාහ කරනවා. කුමන හෝ නපුරුකමක්, අනාදරයක්, විෂ සහිත යමක් නිසා ඒ දිය තලයේ පුංචිම පුංචි රැලිත්තක් මතු වුණත්, ඒක මට වදයක්. වෙලාවකට එවැනි දේවල් සිද්ධ වෙන්නේ මගේම වරදක් නිසා. එතනදි, මම ඒ වරද නැවත මගේ අතින් සිදු නොවිය යුතුයි කියලා තරයේ හිතට ගන්නවා. එතකොට මම ඊයේට වඩා යහපත් මනුෂ්‍යයෙක් වෙනවා. හැබැයි, තවත් ඇතැම් වෙලාවට අදාල නපුරු දෙය සිද්ධ වෙන්නේ මගේම සංවේදිභාවයේ අතුරුඵලයක් විදිහට. අන්න එතනදි ඒ අයහපත් දෙය සිද්ධ වෙන්න හේතු වෙච්ච මගේ හැසිරීම නැවත නොකරන්න මම මටම ගිවිස ගන්නවා. “මම ආයේ එයා/කවුරුත් වෙනුවෙන් මේ වැඩේ කරන්නේ නෑ. අර වැඩේ කරන්නේ නෑ.” මම මටම කියාගන්නවා. එතනදි මටත් නොදැනෙන්න මගේ මෘදු බවෙන් ඇබිත්තක් මගෙන් සදහටම අහක් වෙනවා. මම වගේම මේ සටහන කියවන ඔබ සිද්ධ කරන්නෙත් එයම බව මම දන්නවා. මොන තරම් අපරාදයක්ද! මොන තරම් අහිමිවීමක්ද!
නපුර මිය ගිය සර්ව සම්පූර්ණ ලෝකයක ජීවත් වෙන්න අපිට කවදාවත්ම ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපේ ජීවිත කාලය තුල අපි විවිධ හැලහැප්පීම්වලට මුහුණ දෙනවාමයි. ඒ සෑම ඝට්ටනයක්ම අපේ සෞම්යභාවයෙන් කොටසක් අපෙන් ඉවතට අරගෙන යනවාමයි (සමහරවිට මේකට අපි ‘ශක්තිමත් වීම’ කියලා කියනවා). බොහොම කලාතුරකින් ඒක 100%ක්ම හිඳිලා ගිහින් අමු මිලේච්ඡයෝ නිර්මාණය වෙන්නත් පුලුවන්. නමුත්, බොහෝ විට සිද්ධ වෙන්නේ එක්තරා සන්තෘප්ත අවස්ථාවකට ආවම මේ සිඳී යාම නැවතීම. එතනින් පස්සේ අපිට මුහුණ දෙන්න වෙන ඕනෑම අයහපතකට, නොසෙල්වෙන මනසකින් සහ නොරිදෙන හදවතකින් මුහුණ දීමේ හැකියාව අපිට ලැබෙනවා. අපට අහිමි වුණු අපේ මෘදුභාවය ඒ හැකියාව අපිට අත්පත් කර දෙමිනුයි අපේ ජීවිතයෙන් අහක් වෙලා ගිහින් තියෙන්නේ. මෙන්න මේ අවස්ථාවට කියනවා ‘පරිණතබව’ කියලා. ඉතින් මේ සමස්තයම ගැන කල්පනා කරනකොට මට මෙහෙම හිතෙනවා…
පරිණතභාවයේ ත්‍යාගය රැඳිලා තියෙන්නේ මොන තරම් මිලාධික මාර්ගයක් කෙළවරද!
–අමාවි සිල්වා