මෑතක කොඩිගහ යට නාට්‍යය දෙමළ දෙබස් සිංහල උපසිරැසි නැතුව තිබීම ගැන කතිකාවක් ඇතිවී තිබුණා දැක්කහම යුද්දේ ඉවර වෙනවත් එක්කම හාහා පුරා උතුරට ගිහින් අපි දෙමළ කතා කරපු හැටි කියන්නම ඕනේ කියල හිතුනා. මේ කතාව මීට වැඩියෙන් අනිත්කොන පොතේ තියෙනවා එනිසා මං වැඩිපුර දේවල් ලියන්නෙ නැහැ මට මතක් වුණු පොතේ නැති දේවල් ලියන්න හිතුවා.
රාජ්‍ය සේවකයො හැටියට අපිටත් අපි රජයේ පත්වීම අරගෙන අවුරුදු 2 ඇතුලත ස්ථීර වීම් සහ උසස් වීම් සඳහා පරිපාලන සම්බන්ද විභාගයකට මුහුණ දෙන්න
වෙනවා. හොඳ වේලාවට අපට සීමාවාසික කාලයේ මේ විභාගයට මුහුණ දෙන්න අවශ්‍ය නැත්තේ. එහෙම උනානම් අර මහා වැඩ කන්දත් එක්ක කොහොම කරන්නද ? මේ ළඟදි දවසක රටේ තැන තැන විසිරිලා හිටපු අපි සමහරෙක්ට එකට එක්කාසු වෙන්න චාන්ස් එකක් ආවා මීටිමක් නිසා. අගනුවරට කිට්ටුව සේවය කරපු මගේ හුඟක් යාළුවන්ට තිබ්බ ප්‍රශ්නේ තමයි ඔය විභාගෙට අවශ්‍ය දෙමළ බස කොහොම ඉගෙන ගන්නද කියලා. රටේ අනිත් කොණේ වැඩ කරපු දෙමළ බස පුරුදු පුහුණු වුන අපටනම් ඉතින් ඒක එතරම් ප්‍රශ්නයක් වුනේ නෑ. වෙලාවට එහෙම තැනක වැඩ කලේ කියලයි හිතුනේ.
වචනෙන් වචනේ දෙමළ අහුලගෙන කතා කරන අපිට හිනාවෙන්න කෙනෙක් නැති වුනාට සිංහල කතා කරනකොට වරද්දන යාළුවන්ට ශිෂ්‍යයින් කාලේ අපි සෑහෙන්න හිනා වුනා.
ජේන් (අනවර්ථ නමකි) , මාතෘ රෝහලක සායනික පුහුණුවකදී අම්මා කෙනෙකුට කහින්න ඉගැන්නු හැටි මතක් වුනා. ජේන් ඒ වෙද්දි සිංහල කතාකරන්නේ අහුලමින්
රෝගියෙකුගේ ගැටිති, ඉදිමිච්චි තැන් පෙන්වා “ඒක මොනාද ?” කියලා අසද්දී අපි හිනාව නවත්තා ගත්තේ අමාරුවෙන්.
සායනයකදී , බඩේ තිබුනු හර්නියා එකක් පරීක්ෂා කරන්න ගිහින් “අම්මේ කහින්න” වෙනුවට “අම්මේ කහන්න” යැයි කියූ විට අර අම්මා හොල්මන් වී “කොහේ කහන්නද කියලා ඇසූ හැටිත් ඒ විත්තිය නො ඇසී ආයෙත් “අම්මේ කහන්න හොඳට.. “යැයි සද්දෙන් පැවුසූ හැටිත් අම්මා බඩ දෙපස කහන්න දෝ කියා අප දෙස බලමින් විමසද්දී අර අම්මාගෙන් යමක් අහගන්නට කළින් , එය ඇසුනු අපි ළඟට ගොස් ජේන් ට ඒ ගැන පැහැදිලි කළ අයුරුත් මතක් වෙද්දී දැනුත් මගේ මුවගට සිනහවක් නැගෙන්නේ නිරායාසයෙන්මයි.
මම උතුරු කොන සේවයට යද්දී දෙමළ කතාකරන්න බැරි වුනෙන් හිත දෙගිඩියාවෙන් පෙළුනා. ඒ පශ්චාත් යුධ සමය. අපේ විශේෂඥ වෛද්‍යවරයාත්, “දෙමළ බැරුව මෙහෙ වැඩ කරන්නේ කොහොමද ? ඉක්මනින් ඉගෙන ගන්න වෙයි , නැත්නම් ට්‍රාන්සර් එකක් අරගෙන දකුණට යන්න වෙයි” කියා අපේ සිතේ බිය තවත් වැඩි කළා.
මේ රටේ ගොඩක් ප්‍රශ්ණ වලට මුල ජාතීන් අතර හොඳ සන්නිවේදන මාධ්‍යයක් වන මේ භාෂාව නොදැනීම කියලත් මට හිතුනා. සියයට අනූ අටක්ම දෙමළ පුර වැසියන් වසන ප්‍රදේශයක පළාතේම මහ රෝහලක සේවය කරන්න වුනහම අනිවාර්‍යයෙන් දෙමළ බස කතා කරන්නම වෙනවා. නැත්නම් රෝගීන්ගෙන් සායනික ඉතිහාසය ගැනීමේ සිට සායනික වටය සඳහාත්, පරිවර්ථක කෙනෙකුගේ සහය ලබාගන්න වෙනවා, ඒත් මේ පරිවර්ථකලත් අපූරු වැඩ කරලා අපේ සමහරුන්ට වැරදි ලෙඩ කියා තිබෙනවා පසුව ආරංචි වුනා. එනිසා පරිවර්තන සහායකයන් සොයා වෙහෙසෙන එක වැඩක් නැති බව තේරුම් ගියා.
මේ ගැන කියද්දී මගේ අප්පච්චිගෙන් ලැබුනේ අපූරු උපදෙසක්. “පුතේ මමත් කාලයක් තිස්සේ හිතුවේ දෙමළ ඉගෙන ගත්තානම් කොයි තරම් හොඳද කියලා…. ඒක මේ රටේ ජීවත් වෙන්න ගොඩක් වැදගත් වෙනවා. මේ ප්‍රශ්ණ බොහොමයකට මුල ඔය වගේ සුළු දේවල් තමයි. පුළුවන්නම් ඉගෙන ගන්න ” කියලයි.
ඒ වෙද්දි මම දැනන් උන්නේ වාංග පෝංග, ඔන්ඩු රෙන්ඩු මූන්ඩු නාල විතරමයි. ඉස්කෝලෙදිවත් ඉගෙන ගත්තෙ නෑ. මං හිතන්නේ අපේ කාලේ ඒ දෙමළ විෂයය අනිවාර්‍යය නෑති නිසා අපිට ඉගෙන ගන්න පුළුවන් උනේ නෑ. මෙහෙන් යද්දී සිංහලෙන් දෙමළ උගනිමු පොත් කීපයක් ගෙනිච්චත්,වාට්ටුවල පීරී ඉතිරී යන රෝගී ගංගාවත් එක්ක මොන දෙමළ ඉගෙන ගන්නවද ?
මම කලේ දෙමළ පුළුවන් සිංහල ඇටෙන්ඩන් කෙනෙක්ගේ සහය අරගෙන ලෙඩුන්ගෙන් අහන්න ඕනෙම ටික කොලේක ලියා ගත්තා… ඊට පස්සේ එයාලා දෙන්න පුළුවන් උත්තරත් ලියා ගත්තා. කටපාඩම් කරා…. කොළේ තියෙන ටික කීප සැරයක් ලෙඩුන් සිය ගණනකගෙන් අහද්දී නිකම්ම මතකේ හිටියා. එයාලා කියන උත්තර වල නොදන්නා වචන එවෙලෙම අහගෙන ලියාගත්තා…ඊට පස්සේ වචන අමුණන හැටි ඉගෙන ගත්තා… ඒ කියන්නේ , අපි උනත් කතා බහ කරද්දී පාවිච්චි කරන…. “ඉතින්, එතකොට, එහෙම නැත්නම්, ඊට පස්සේ, සමහර විට, ආයෙම, එහෙම කරොත්… වගේ ඒවා ටික ඉගෙන ගත්තම බොහොම ලේසි උනා වැඩේ… අතීත අනාගත වර්ථමාන යෙදුම්… අග වෙනස් වෙන හැටි .. ඒවානම් වරද්ද වරද්ද තමයි ඉගෙන ගත්තේ….ඒ වගේම අපට අත්‍යාවශ්‍ය වෙන ප්‍රායෝගික දෙමල පොතක් වෛද්‍ය ආසිරි මුණසිංහ ලියලා තිබ්බා. ඒ කාලේ තිබ්බේ ඒ පොතේ ෆොටෝ කොපි.
ඔන්න වෙලාවකට ආම්බල , පෝම්බල ,වචන දෙක … පටලැවෙනවා, (ගෑණු පිරිමි) , කට්ටිල ( ඇඳ ) කුට්ටිල ( කාමරය ) පටලැවෙනවා. රෝගියාට ඇඳට නගින්න කීවම, සමහරු මොන කාමරයටද යන්නේ අහනවා…. බලද්දී මමයි පටලවන් තිබුනේ…
ඔන්න ඔහොම කොහොම හරි සායනයේදී උනත් දෙන උපදෙස් ටික හොඳින් කටපාඩම් කරගෙන මතකේ තිබ්බා… එහෙම නිතරම භාවිතා කරද්දී දෙමළ බස හොඳටම හුරු වුනා. අනික සායන වලදී මේ ගැබිණි මව්වරුන්ට හරියට උපදෙස් නොලැබුණොත් අපි ලියන ඉංග්‍රීසි අකුරු කියවන්නේත් නැති නිසා එයාලා එන්න කියන දිනයට එන්නේ නෑ.
අවශ්‍ය කරන මූලික උපදෙස් දෙන හැටි ලියා ගත්තා පුරුදු වුණා. සති කීයෙන් මාස කීයෙන් එන්න ඕනෙද කියලා කීවා. අනික විශේෂයෙන් කියන්න ඕනේ බඩට හෝ බබාට කියලා. නැත්නම් අර්ල මාදම් මුඩින්ජි කිව්වම ජූලි මාසේ කියලා හිතනවා. ඔය වගේ වැරදෙන්න පුළුවන් තැන් හොයාගෙන හරියට කියන හැටි කටපාඩම් කළා. ටිකක් ටිකක් කියවනකොට නිකම්ම මතක හිටියා.
හෙදියන්, සාත්තු සේවක , සේවිකාවන් සියලු දෙන දෙමළ බස පමණක් කතා කල නිසා දුරකථනයෙන් වුනත් රෝගියෙක් ගැන පවසන්නේ දමිළ භාෂාවෙන් . මා ඒ බාධකය ජය ගෙන තිබූ නිසා මට ඔවුන් හා හොඳින් කතා බස් කරන්නට හැකි වුණා. මීට එහා ප්‍රාදේශීය රෝහල් වලින් රෝගීන් පැමිනි විට ඔවුන් හා පැමිණි වෛද්‍යවරුන්, “ඔබේ උපන්ගම මෙහෙද ?” අසන්නට වුණා.
ඒකෙන් මගේ උච්චාරණය හරි බව මට වැටහුණා. දිනක් රෝගියෙක් අසාධ්‍ය වි මීට එහා පිහිටි මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයට මාරු කර යැවීමට ගිය විට ඇම්බියුලන්ස් රථයේ ප්‍රමාදයකට මා දෙමළෙන් අවශ්‍යතාවය අසල සිටි ඔවර්සියර් වෙත කියමින් ඇම්බියුලන්ස් රථයේ රියැදුරාටද ඔහුගේ බසින්ම අවශ්‍ය කාරණය පැවසූයේ ඒතරමට අපට අනිත්කොණ සිටියදී ඒ වැසියන්ගේ බාසාව හුරුවී තිබීම නිසාය.
රෝගියා බාරදී ආපසු එන ගමනේදි… රියදුරු මහතා අහනවා ” ඩොක්ටර් තරහ ගන්න එපා මෙහෙම අහනවට.. ඩොක්ටර් දෙමළද ? සිංහල ද? “
“මම සිංහල. ඇයි එහෙම ඇහුවේ” මම විමතියෙන් ඇසුවෙමි.
” ඩොක්ටර් දෙමළ කතා කරද්දී කියන්න බෑ සිංහල කියලා…නමත් ඒ වගේ නිසා මූණත් මේ පැත්තේ පාට නිසා…මම හිතුවේ ඩොක්ටර්ගේ ගම මෙහෙ කියලා”
මට දැනුනේ සතුටකි. ඒ ඔවුන්ගේ බස ඔවුන් වාගෙම හසුරුවන්නට මට හැකි වීම නිසයි. බසයක වුනත්, කඩපලේ වුනත් මට වෙනසක් දැනුනේ නෑ. ඒ භාෂාව නිසා මට ඔවුන්ගේ සමාජය තුලට යෑම පහසු වුනා. යුද්ධය ඉවර වූ අලුත අපි එහි ගිය නිසා එහි වාට්ටු වල එකිනෙකා අතර ඇතිවූ නොයෙක් තේරුම් නොගැනීම්, හැල හැප්පීම් වැනි දේ නවත්වන්න එය කදිම රුකුලක් වුනා.
හදිසි ලෙඩෙක් අරගෙන අගනුවර රෝහලකට ගිය විට, එහි වෛද්‍යවරයා දමිල ජාතිකයෙක් වූයෙන් මා අනිත්කොණේ බව පවසා ඔහු හා කතා බස් කර එන්නට යද්දී, හෙදි සොයුරියන් ඇසුවේ ” ඩොක්ටර් දෙමළද ? ” කියාය. ” මම සිංහල ” යැයි පැවසූවිට ඔවුන් කීවේ
” අර ඩොක්ටර් එක්කත් දෙමෙළෙන් කතා කල නිසා අපි හිතුවේ ඩොක්ටර් දෙමළ කියලා, ඒත් සිංහල නමක් නිසා අහන්න හිතුනේ. ඩොක්ටර් සිංහල කතා කරන්නෙත් දෙමළ කෙනෙක් සිංහල කතා කරනවා වගෙ නේ” ඔවුන් කියන්නේ දැන් මගෙ සිංහල කතා බහත් දෙමළ හුරුවට බව ය.
ඒ එක්කම මේ කතාව මතක් වුණේ…
ඒ කාලේ අපි අමාරුවෙන් දෙමළ අහුලන් කතාකරනකොට, අපේ එක්කෙනෙක් හිටියා අම්මලට දෙමළ එක්කම ඉංග්‍රීසියෙන් අමතපු… ඒ අමතන ගමන් අතින් සංඥා කරපු…
අම්මා කා….ම්…වාංග
අයියෝ වාට් ඉස් දිස් අම්මා….ගිව් දිස්… යු නෝ කප් ස්පූන්… ග්ලූකෝස් .. වෝටර් තන්නි තන්නි.
අතින් සංඥාවෙන් කියන එක තේරෙන්නේ මට හිතෙන්නේ…
ඔය වගේ … එයා පේශන්ට්ලා බලන හැටි බලන් හිටිය අපේ සීනියර් අක්කා කෙනෙක් කීවා,
“අන්න මෙහෙ ඇන්ටෙනේටල් ක්ලිනික් එන අම්මලා ඉංග්‍රීසි පන්ති යනවලු…අලුතෙන් ආපු ඩොක්ටර්, එක්ක කතා කරන්න. එයා කියවන ඉංග්‍රීසි කෑලි තේරුම් ගන්න” කියලා…
අපි ඉතින් අන්තිමට… “උපන්ගම මෙහෙද ” අහන්න තරම් දෙමළ කතා කළා…
මාසෙන් දවස් කිහිපයක් හැර මුළු මාසය පුරා ඒ බසින් කතා කරන විට දෙමළ හුරු වීම පුදුමයක් නොවේ. දුෂ්කර සේවයෙන් පසු ට්‍රාන්සර් ලබා කොළඹ පැමිණි විට වුවද මුල් කාලයේ නොදැනීම දමිළ බසින් කතා බස් කෙරුනේ ඒනිසා වෙන්නට පුළුවනි. එමෙන්ම දැන් වුනත් වාට්ටුවට පැමිණෙන සිංහල නොතේරෙනම පිරිස් කැඩිච්ච සිංහලෙන් කතා කරද්දී මම ඔවුන්ගේ බසින් කතා කරන විට මුහුණේ ඇති වන සිනහව දකින්නට මම බොහෝ සෙයින් ප්‍රිය කරමි. රාජ්‍ය සේවකයින් හැටියට රටේ ජන සමාජ වල භාවිතා කෙරෙන සියලු භාෂා දැන ගැනීම අප රාජකාරි පහසු කරවන්නක් විය.
ඇත්තටම අනිත් කොන වැසියෝ ඉංග්‍රීසි හෝ සිංහල කතා කරා නම් අපි කීයටවත් දෙමළ ඉගෙන ගන්න එකක් නෑ කියලා මට හිතුනා. ඉගෙන ගත්ත එකත් සෑහෙන දුරට ප්‍රයෝජනවත් උනා පස්සේ කාලෙකදි අගනුවර රෝහල් වල වැඩ කරද්දිත් සිංහල තේරෙන්නැති දමිළ වැසියන් ට උදව්වක් වෙන්න සැනසුමක් වෙන්න නොයෙක් වෙලාවට පුළුවන් වුණා. දැන් නම් භාවිතයක් නැති හින්දා බොහොම යන්තම් තමයි මතක් වෙන්නේ. හැබැයි චිත්‍රපටි බලද්දි ඊළඟට මේ කොඩිගහ යට වගේ නාට්‍යවල දෙබස් ඇහෙද්දි “අඩේ දෙමළ තේරෙනවා නේද ” කියලා මතක් වෙනවා.
මම වැඩ කරපු උතුරු කොළ රෝහල්වල වැඩ කළ සිංහල ගම්මාන වල සෞඛ්‍ය සේවකයන් හැමෝටම දෙමළ භාෂාව හොඳට පුළුවන්. ඒක හරි පුදුමයි අපිට. දශක ගණනාවක යුද්ධයක් තිබිලත් සන්නිවේදනය අවුල් වෙනකොට වෙන්න පුළුවන් නරකම දේවල් දැක දැකත් අපේ කාලයේ දමිළ භාෂාව අනිවාර්‍ය උනේ නැති හින්දා අපි ඉගෙන ගත්තෙත් නැහැ. එකිනෙකා තේරුම් ගන්න නම් එකිනෙකා සමග සන්නිවේදනය කරන්න ඕනේ ඒකට කොහොම හරි අපි කතා කරන්න ඕනේ.
වෛද්‍ය බෝධිනි සමරතුංග