“මට තියන ප්‍රශ්න එක්ක බලද්දි ඔයාගේ ප්‍රශ්න මොනවද” කියලවත්, “මං කරලා තියන දේවල් එක්ක බලද්දි ඔයා කරලා තියන දේවල් මොනවද” කියලවත්, කවදාවත්ම කාටවත්ම කියන්න එපා.
අපි හැමෝටම අපේ ප්‍රශ්න ලොකුයි. ඒ බව වැටහෙන තරමට අපි අපේ මමත්වය පොඩි කරගන්න ඕනේ. ඒ වෙනුවට අපි තුළ තියන සහකම්පනය ලොකු කරගන්න ඕනේ. එක මනුස්සයෙක් යෝධ පියවරක් තබනකොට වගේම තව මනුස්සයෙක් යම්තම් පා ඇඟිලි හොලවනකොට පවා ඒ දෙන්නා ගැනම එකම විදිහට අපි ආඩම්බර වෙන්න ඕන. අපිට ඒ දෙක පරිමාණ දෙකකින් පෙනුණාට ඒවාට මුහුණ දෙන මිනිස්සුන්ට ඒ දෙකම දැනෙන්නේ එකම පරිමාණයෙන් බව තේරෙන තරමට අපි කරුණාවන්ත වෙන්න ඕන.
මේ බව තේරුම් ගන්න මටත් කල් ගියා. මෙවැනි සමහර අවස්ථාවලදි තවමත් මම ඉබේම වගේ මගේ ‘මිනුම් දඬු’ එළියට ඇදගන්නවා. නමුත් ඒ බව වැටහෙන අනිත් තප්පරයේම මගෙන් වෙච්ච වැරැද්දට අනිත් පාර්ශවයෙන් සමාව ඉල්ලන්න මම පසුබට වෙලා නැහැ. ඒ අනුව, මගේ හදවත තව තවත් විශාල සහ උණුසුම් විය යුතු බව මට වැටහෙනවා. නමුත් ඊට කමක් නැහැ. මනුෂ්‍යත්වයේ ඇසට නොපෙනෙන තරම් සියුම් වටිනාකම් පවා මම දවසින් දවස වටහා ගනිමින් හිඳීම මා තුළ ආත්ම තෘප්තිය ඇති කරනවා. මට අවශ්‍ය තැනට මගේ හදවත දිනෙන් දින ගමන් කරමින් ඉන්නවා. එය මට විශාල අස්වැසිල්ලක්.
ඉතින් මතක තියාගන්න…
අපි හැමෝගේම පෞද්ගලික අරගල අපිට වැදගත්. එහෙව් අරගලයක් මැද්දෙදි අපි ලබාගන්න ඕනෑම ජයග්‍රහණයක් අපිට දිගටම ජීවත් වෙන්න අවශ්‍ය කරන තල්ලුව දෙනවා. ඒක පොඩියිද ලොකුයිද කියලා මනින්න යන්න උවමනා නැහැ. අවශ්‍ය කරන්නේ මුළු හදවතින්ම ඒ ජයග්‍රහණ පිළිගැනීම සහ ඊට අත්පොලසන් දීම පමණයි. ඒ වෙනුවෙන් අපිට සතයක්වත් වියදම් වෙන්නේ නෑ.
-අමාවි සිල්වා