Wrong generation ද?

මේ සටහන ලීවේ කලහකාරී ලෙස හැසිරුණු දරුවන් පිරිසක් ගැන පුවත් මැවුණු කාලයක. ඇයි දරුවෝ මේතරම් ප්‍රචන්ඩකාරී ලෙස හැසිරෙන්නෙ මම දැක්කා ඒ ළමයින්ගේ පින්තූර දමාගෙන සෑහෙන දෙනෙක් දොස් කියනවා wrong generation කියලා. දරුවෙක් හදන්න ගමක සෙනඟ ඉවහල් වෙනවා කියලා කියමනක් තියෙනවා. තමන්ගේ ගෙදරින් වගේම පාසැලෙන්, ආගමික ස්ථානයෙන්, අවට ජීවත්වෙන පරිසරයෙන් රටෙන් මාධ්‍යවලින් මේ හැම දෙයින්ම බලපෑම් තියෙනවා.

ඒත් මෙහෙම වුණා කියලා generalize කරලා චෝදනා කරන්න බෑ මේ පරම්පරාවේ හැම ළමයම මෙහෙමයි කියලා. අපේ කාලෙත් මේවගේ නාහෙට අහන්නේ නැති අය ඉන්න ඇති නැත්නම් මේ තරම් පාතාලේ හෝ එහෙම නැති වැඩිහිටි මිනිසුන් අතින් කා කොටා ගැනීම් මිනී මරාගැනීම් සිදුවෙන්න විදිහක් නෑනේ අනික අපේ වයසේ හෝ ඊට වැඩි වයස් කට්ටිය නේ මේ අය, පිටරටින් ඇවිත් නෙමෙයි නේ. ඒ කාලේ මේ තරම් ඉක්මනින් පුවත් පැතිරෙන්න සෝෂල් මීඩියා හෙවත් සමාජ මාධ්‍ය තිබුණේ නෑ.

අනික රට මේ තරම් ආර්ථික බංකොලොත්භාවයට පත්වෙන්න රටකරවන තැන හිටියේ මේ දැන් බනින wrong generation එක නෙමෙයි. මේ රටේ සිදුවුණු සංස්කෘතික ආචාරධර්ම අවුලට හේතුව මේ දැන් ඉන්න වැඩිහිටියෝ නේද ? දරුවන්ගේ පින්තූර දමන එකට නම් විරුද්ධයි. මේ පින්තූර දැමිල්ලෙන් වෙන්නේ තවත් අභාග්‍ය සම්පන්න දේවල් පමණයි. ඒ ළමයි කළ දේ වැරදියි. නීතියෙන් දඬුවම් ලැබිය යුතුයි. දැන් මේ සමාජ මාධ්‍ය තුළ පින්තූර සංසරණය කරගෙන ඒ දරුවන් සදහටම අච්චු කරලා මරණ දණ්ඩනය දීලත් ඉවරයි.

මේක බැනුමක් අහන්නේ නැතිව කියන්න විදිහක් මට තේරෙන්නේ නෑ ! මං දන්නවා ප්‍රශ්නය තමන්ගේ නොවන තාක් පිළිතුරු දාර්ශනිකයි කියන එකත්. මං තුළ ඉන්න ජීවිත රකින්නා සහ හිපොක්‍රටීස් ප්‍රතිඥාව අනුව කවර තත්ත්ව යටතේ වුවද හැගීම් වලට වහල් වෙලා වැඩ කරන්න බෑ. මම හෘද සාක්ෂියට එකඟව මේ ටික ලියන්නේ… අපිට කොහෙද වැරදුනේ කියලා කට්ටියක් ලියනවා. දරුවන්ගේ දෙමාපියන්ට බනිනවා. තවත් පිරිසක් සමස්ත ප්‍රජාවටම ළමා සංහතියටම ඒ පරම්පරාවටම බනිනවා. කවුද හරි ? කවුද වැරදි ?

Empathy ගැන , සහවේදනය කියන්නේ මොකක්ද ? අනුන් කෙරෙහි සහකම්පිත විය හැක්කේ කොහොමද ? ආවේග හමුවේ වඩා විමසිලිමත්ව හැසිරෙන්න චිත්ත ආවේග පාලනය කරන්න දරුවන්ට පාසැලේ සිට කියා දෙන්න ඕනේ. දරුවන්ට කලාව සාහිත්‍ය කිට්ටු කළ යුතුයි. මේ දරුවන්ගේ දෙමාපියන් වගේම, පාසැල , ගම , නගරය මුළු රටම fail බව මතක් කර ගමු. It takes a village to raise a child ! අපි හැදුනේ පාතලේ සහ වෙනත් අහිතකර ව්‍යාපාර තදින්ම තිබුණු පළාතක. ඒත් අපේ “ගම” අපිව මේ තත්ත්වයට එන්න ආරක්ෂා කරගෙන ආවා. ඕනේ නම් වරද්දා ගන්න ඕනේ තරම් නිදහස තිබ්බ ජීවිතයක හරි පාර තෝරාගන්න අපිව හදපු “ගම” ඉවහල් වුණා ඒ කියන්නේ දෙමාපියන්, අසල් වැසියන්, නෑයින්, පාසැල ,දහම් පාසැල යහළුවන්, සාහිත්‍යය කටයුතු , ජන මාධ්‍ය වගේ දේවල් බාලදක්ෂිකා වැනි බාහිර වැඩ… මේ වගේ ගොඩක් දේවල් ඉවහල් වුනා.

මට මතක් වෙනවා රන්සර බණ්ඩාර මහතා ලියූ කවියක්

ගුරු හිතක්

ඉස්සරත් තිබුනා
වැඩිහිටියන්ට පමණයි දර්ශන
මගේ හිතෙත් යක්ෂයෙක් හිටියා
වැඩිහිටි වෙන්න දැගලුව
ඒ වුනත් අම්මට වැන්දම
අප්පච්චි නළල ඉම්බම
යක්ෂයට උනත් දැනුණා
ලොකු වෙන්න තව හුගක් කල් බව

ඉස්කොලේ වත්ත ඇතුලේ
එක යායේ මල් පිපුනම
පියඹා නොගොස් කොහොමද
බඳට තටු එන කාලෙට
ඒ වුනත් ,
වැට මායිමේ ඉදගෙන
ඔහොම නැවතියන් කිව්වා
ආච්චම්මගෙ අන්දර

අම්මගෙන් බැනුම් අහ අහ
හවසට සාලේ ඉදගත්තම
ටයි මාමා උනත් කිව්වේ
අදට වැඩියෙන් හොඳ කතන්දර
ඔන්න ඕවයි මන්තර
ගින්දරෙත් අපි නොපිච්චුන
ප.ලි
ඉතින් සමහර තැන්වල
මමත් ඔහෙ උඹලටම බැන්නට
කවුරු උඹලට කියා දුන්නෙද?
ගිණි සිසිළ දරණ අන්දම…

(රන්සර බණ්ඩාර)

“දරුවෙකු ඇති දැඩි කිරීමට ගමක් අවශ්‍යයි” යන වාක්‍ය ඛණ්ඩය අප්‍රිකානු හිතෝපදේශයකින් හමුවෙන්නේ. දරුවන්ට අවශ්‍ය ආරක්ෂාව ලබා දෙන දරුවන්ට ආරක්ෂිත, සෞඛ්‍ය සම්පන්න පරිසරයක් සැපයීමට බොහෝ මිනිසුන් (“ගම”) අවශ්‍ය වන බවට පණිවිඩය සපයයි. සංවර්ධනය කිරීමට සහ සමෘද්ධිමත් වීමට සහ ඔවුන්ගේ බලාපොරොත්තු සාක්ෂාත් කර ගැනීමට සහ අවසානයේ යහපත් වැඩදායි පුරවැසියන් බවට ඔවුන් පත් වීමට ගමක සහාය අවශ්‍යයි.

වෛද්‍ය බෝධිනි සමරතුංග

Leave a Reply

Your email address will not be published. Required fields are marked *