ඒ 1991 අවුරුද්ද ය. අප පාසැලට පැමිණි ඇය එවකට හතර වසරේ සහ පහ වසරේ සිටි අප සේරම පහළ තට්ටුවේ පිහිටි ශාලාවට රැස් කරවා, අපට කතාවක් කියාදුන්නාය. ඒ අපි අහලා තිබුනු ඉබ්බයි හාවයි රේස් එකක් දුවපු කතාව ය. ඒ කතාව කීවේ හරිම අපූරු විදිහකටය. අහලා තිබුනත් ඇගේ කතාව අපූරුම එකක් විය. ඇය අපට සෝමලතා නැන්දා විය. අපට මුලින්ම සිදු වුනේ සිංදු කියන්නයි. සිංදු කියද්දී අප කිහිප දෙනෙක් වෙන් කරගත්තාය. අපි එතැන් පටන් මල් වීමු.
මේ මල් ටිකට සිදු වුනේ, නාට්යයේමුල ඉඳන් අග දක්වාම ස්ටේජ් එකේ සිටින්නය . ඇතැම් විට නටමින් ඇතැම් විට සිටගනිමින්,එක කොනක සිට අනෙක් කොනට දුවමින් ඇතැම් විට දෙබස් අතර තුර එහිම හිඳගනිමින් නාට්‍යය පුරාම තිබුනු සිංදු කීමට අපට සිදු විය. එකල අපි ටීවි එකේ දකින චාන්දනී සෙනෙවිරත්න, කෞෂල්‍යා ප්‍රනාන්දු අපට අක්කලා විය. චාන්දනී අක්කාද, කෞෂල්‍යා අක්කාද ඇතුලු තව අක්කලා බොහෝමයක් පැමිණ අප වෙන් වෙන් කරගෙන පුරුදු පුහුණු කළ අයුරු මතකය.
දින තුනක් දර්ශන වාර තුනක් පෙන්වූ “ඔට්ටූයි” නාට්‍යය අවසාන වන තෙක්ම ඔවුන් අප අපූරුම ලොවකට ගෙන ගියෝය. පුහුණුව් සිදු වූයේද අමුතුම ආකාරයකටයි. මුලින් අප කලේ ව්‍යායාම පමණි.. පසුව ටිකෙන්ටිකෙ නැටුම් පුරුදු පුහුණු විනි. එක තැන පැලවෙලා තියෙන මල් පරිසරයේ දැක්කත්, ඒ නාට්‍යයේ ඒ සිංදු කියන මල් ටික මුල් උදුරගෙන වේදිකාවේ එක් කොනක සිට අනික් කොනට දුවන අයුරු ගැන අපි විහිළු තහළු කළෙමු. ඒ බොහෝ ආසාවෙන් ගෙවුනු කාලයකි. එදා පටන් ගත් සිංදු කීම,පාසැලේ හැම නාට්‍යයකම ගායනා කණ්ඩායමේ හිඳීම දක්වා දුර දිග ගියාය.
අප නාට්‍ය පුරා බොහෝ සැහැල්ලුවෙන් රඟ පෑ බව අප වැඩිහිටියන් පැවසුවෝය. අප පුහුණු කළ ඔවුන් කිසිවෙක් අපට බැන වැදුනේ හෝ තරවටු කළේ නැත. ඔවුන් ළමා සිත හඳුනාගෙන සිටියෝය. ළමයින් හසුරුවන්නේ කෙසේදැයි දැන උන්නෝය. නාට්‍යය පෙන්වූ අන්තිම දවසේ අවසාන දර්ශනයට පසු, මල් කළඹක් රැගෙන අප සියල්ලෝම සෝමලතා නැන්දාට වේදිකාවට එන්නට ඇරයුම් කළෙමු. ඇය පැමිණ සෙසු සියලු අක්කලාද කැඳවමින් අඩි දෙක තුනක් ඉදිරියට තියනවාත් සමග ලිස්සා ඇද වැටිනි. එනමුදු කැඩුනු වැලමිට අල්ලාගෙන , නෑ මොකුත් නෑ කියමින් අප දුන්මල් කළඹ රැගෙන හිස සිඹ පිටව ගිය අයුරු මතකය. ඒ මතකය පමණක් ඉතිරි වී ඇත. ඉන්පසු මේ වනතෙක්ම ඇය මගේ ලෝකයේ වීරවරියක වූවාය. එදා සිට මේ වන තෙක් ඇය හමුවී හෝ නොමැති වුවද, කුඩාවුන්ගේ සිත් හඳුනාගත් ඇය ඒ හිත්වල වීරවරියක වූවා ය. මේ සටහන ලීවේ ඇය වියෝවූ දිනයේ ලද පණිවිඩය නිසා ය. ඔබේ වියොව නෙතට කඳුළක් එක් කලේ එහෙයිනි. සෝමලතා නැන්දේ ඔබට නිවන් සුව ප්‍රාර්ථනා කරමි.
කලක් තිස්සේ පැවතුන බව පෙනුනත් මේ බ්ලොග් එක මගේ ඇස ගැටුනේ අදයි. වටිනා අදහස් කිහිපයක් කියෙව්වා. නැවත ඒමට බලාපොරොත්තු වෙමි.
මේ වෙබ් සටහන් පටන් ගත්තේ ඔක්තෝම්බරයේ. මේ සඳහා කීප දෙනෙක් එකතු වුණා. ඉන් කෙනෙක් තමා මේ සටහන ලියූ මම බෝධිනී සමරතුංග. මා කලින් ලියු අනිත් කොන බ්ලොග් අඩවිය මගේ බොහෝ කතා සහ ජීවිත සටහන් තිබෙනවා. මේ වෙබ් අඩවියෙන් විශේෂයෙන් අධ්‍යාපනික කාලීන කලා ලිපි බෙදාගන්න තමා අදහස. ස්තූතියි ඔබේ කමෙන්ට් එකට මහින්ද අබේසිංහ මහත්මයා.
පොඩි කාලේ ඉදන්ම මේ වගේ කලා කටයුතු වල යෙදෙන්න අවස්ථාව ලැබෙන එක කොච්චර හොදද..දැන් ලමයි මේවගෙන් ටික ටික අයින්වෙනවා. ෆෝන් එකයි ටැබ් එකයි කම්පියුටර් ගේම් ගැන තමයි වැඩි අවධානය – Mayya – https://maiyyagelokaya.blogspot.com/