සිරීපාදේ යන අතරේ ළමයෙක් උපන්න පණිවිඩය එක්ක මේ සටහන ලීවේ එහි අතුරු කතා කිහිපයක් පෙන්වන්නත් එක්ක. ඒ දරුවාට සහ මවට කිසිඳු කරදරයක් සිදුවී නැති බව තමා ඇසෙන්නේ. ඉතින් සමහරු ඒක හාස්කමක් ලෙස කියනවා පිනක් ලෙස අර්ථ දක්වනවා. මම කල්පනා කරනවා ඒක කොහොමද පිනක් වෙන්නේ බුදු අම්මෝ එකේ අවදානම මේ මිනිස්සුන්ට තේරෙන්නේ නැද්ද කියලා. ඉතින් මේවගේ අවදානම් තත්ත්ව ඇති විට මෙවන් ගමන් යෑම නුසුදුසුයි කියන එකත් පූජාභූමි වල දරුවෙක් ඉපදීම අමුතු එකක් ලෙස උත්කර්ශයට නංවන එකේ භයානක කමත් තේරුම් කිරීම අවශ්‍ය නිසා මම මේ ටික ලියන්න හිතුවා.
සමහර විට මේ වගේ අමුතු විශ්වාස සහ ශ්‍රද්ධාව නිසා ජීවිත හානි වෙන්න පුළුවන්. මොකද දරු ප්‍රසූතිය කියන්නේ ගොඩක් සංකුලතා එන්න පුළුවන් අවස්ථාවක්. ජීවිත අවදානම අතින් ගත්තොත් අම්මයි දරුවා යි… ජීවිත දෙකක වගකීම තියෙනවා.
ඒකයි ඉස්සර වගේ ගෙවල්වල දරු ප්‍රසූතිය කරන්නේ නැතිව ප්‍රසුතිකාගාර හෙවත් labour rooms ඉස්පිරිතාල වල පිහිටුවා, පුහුණුව සහ දැනුම ඇති වෛද්‍ය හෙද පවුල් සෞඛ්‍ය නිලධාරීන් එහෙම පත් කරලා…ඒ එක්කම ලොකු ඉස්පිරිතාලවල සැත්කම් කළ හැකි පහසුකම් ලබා දී තිබෙන්නේ.
උතුරට මහා වැසි ගංවතුර අරන් එන ඊසාන දිග මෝසම් හෝ බෙංගාල බොක්කේ මොනවා හරි කැළඹීමක් එද්දී ඒ කාලේ මුලින්ම කරන්නේ ප්‍රසූතියට දින ළඟ හෝ සංකුලතා ඇති ගර්බණි අම්මලා ටික ඉස්පිරිතාලේ එක්කන් එන ඒක. එයාලව ඉස්කොළවල අටවන තාවකාලික ගංවතුර සහන කඳවුරු වලවත් තියන්නේ නෑ මේ අය.
ප්‍රසූතිය වෙලාවේ සහ ඉන් පසු ඇතිවන අධික රුධිර වහනය නිසා මවගේ ජීවිතය පවා හානි කරනවා. ඒක තමා මාතෘ මරණ ඇති කරන ප්‍රධාන හේතුව වෙන්නේ. Post partum haemorrhage. ඒ මොහොතේ කුමක් වෙයිද කියා අප කාටවත් කලින් තීරණය කරන්න බෑ. මගේ නෑදෑ පොඩි අක්කා මරණයට පත්වුනේ කලින් නිර්ණය නොකළ කිසිම සංකූලතාවයක් නැතිව සාමාන්‍ය ප්‍රසූතියට සති 41 දී රෝහල් ගත වෙලා සාමාන්‍ය ප්‍රසූතිය වෙලාවේ දරුවාගේ සංකුලතා ඇවිදින් සිසේරියන් සැත්කම් කළ පසු (ශික්ෂණ රෝහල ක මහාචාර්ය ඒකකයක) ඉහත කී අධික රුධිර වාහන තත්ත්වය ඇතිවීම නිසා. ඉතින් මේ සිරීපාදේ මුදුනේ වගේ කිසිම පහසුකමක් නැති තැනක කවර කථා ද?
ඒවගේම තමා බිලිඳාට ඇතිවන සංකුලතා. ඉපදෙන දරුවාට ඒ මොහොතේ ඇතිවන සංකූලතා බොහොමයක් තිබෙනවා. උපන් ගමන් හුස්ම නොගන්නා අවස්ථා කොයි තරම් මගේ සේවා කාලය තුළ අත් දැකලා තියෙනවද ? ඒවගේම තමා සෞඛ්‍යාරක්ෂිත නොවන තැන්වලදී විෂබීජ වලට නිරාවරණ වීම, ශීත අධික පරිසරයට නිරාවරණය වීම එහෙමත්.
එතකොට මේ සිරීපාදේ ගිය අම්මා අවදානම් තත්ත්වයේ දාලා තියෙන්නේ තමන්ගේ ජීවිතය විතරක් නෙමේ තමන්ගේ දරුවාගේ ජීවිතයත් අවදානමට ලක් කරලා!
ලංකාවේ මාතෘ මරණ දකුණු ආසියාවේ දර්ශක අතරින් හොඳම අගය තියෙන්නේ ලංකාවේ ඒ ප්‍රසව හා නාරිවේදය වගේම පවුල් සෞඛ්‍ය ආයතනය ගෙන යන සුවිශාල මෙහෙයුම් යාන්ත්‍රණ නිසා.
ඉතින් මේ වගේ අවදානම් ගමන් යන හො යන්න ඉන්න මව්වරුන්ට වගේම මේ සිදුවීම් ජීවිත අවදානම නොතේරෙන ලංකා පොළොව උඩ ඉන්න සිය දහස් ගණනක් නොතේරුම් කම් ඇති මිනිසුන්ට මේ ගැන තේරුම් කරන්න හිතුනා.
මේ ගැන ලිව්ව කතාවක් තියෙනවා “ෆෝන් සිඹින මිස්ලා” කියලා එකත් මේ අන්තිමට එකතු කරනවා. දරුවෙක් පිළිසිඳ ගැනීම සමග ප්‍රාදේශීය පවුල් සෞඛ්‍ය නිලධාරීන් හෙවත් මීඩ් වයිෆ් මිස් ලා තමයි ප්‍රසූතිය දක්වාම මේ ගර්භනි අම්මලාගේ වගකීම දරන්නේ.
ගර්භානි කාන්තාවන්ට මෙවැනි අහිතකර අවදානම් ගමන් යන්න එපා කියලා දැනුවත් කිරීම් අපමණ කරනවා. ඒවගේමයි එයාලා ගෙවල් ගානේ එන්නේ… සායන වලට ලියාපදිංචි කරගන්නේ එහෙම කළ යුතු නිසා. එක් කෙනෙක් හරි මිස් වුණොත් දෝෂාරෝපණය එන්නේ field midwife ට නිසා. එතකොට කිසිම සායනයකට ඒ වෙනකම් නොගිය ඒ අම්මලා දරුවෝ ගැන දෝස්මුර යන්නේ අදාල ප්‍රදේශයේ මීඩ් වයිෆ් ට. ඒත් ඒ මිනිසුන්ගේ ආකල්ප හදන ඒක අතින්නම් සෞඛ්ය අංශය තවමත් පසුගාමී යි. මම කලින් උතුරු කොනේ ප්‍රසව හා නාරිවේදය අංශයේ වැඩ කළ නිසා දන්නවා මේ කාර් යය කොහි තරම් වගකීමක් ද කියලා.
කතා කරන පින්තූර – ෆෝන් සිඹින මිස්ලා
ලෑන්ඩ් ෆෝන් එක හෙවත් දුරකථනය සිඹිමින් කතා කරන එක උතුරේ අනිත්කොන රෝහලේ ඉතා සුලබ දර්ශනයකි. මේවා එකල හිනා යන දේවල් වුණාට දැන් මතක් කරද්දී හිතට බොහෝ උණුසුම් සතුටක් ගෙන දෙනවා.
මේ පින්තූරේ ඉන්න මිස් BHT එක හෙවත් ඇඳ ඉහපත් ෆයිල් එකත් අරන් මේ කරන්නේ හෙට හෝ අද හවස අපි ගෙදර යන්න ටිකට් කපන ගර්භණී හෝ දරුවා ප්‍රසූත කළ අම්මා කෙනෙක් ගැන විස්තර කියා ඇයට අප ඉදිරියේ දී ඇති සැලසුම, නැවත රෝහල්ගත විය යුත්තේ කවදාද යන මේ සියල්ල ඇයගේ නිවස්නය පිහිටි ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සේවිකාව වෙත කීමය. බොහෝම ඈත සිග්නල් අඩු ප්‍රදේශවල සිට ඒ උදවිය කතා කරද්දී ඇහෙන්නැති නිසා රිසීවර් එක පැත්තක දමා ස්පීකර් දමා මෙසේ කෑ ගහන මිස්ලා ගේ මේ වැඩේ ගැන අපි විහිළු තහළු කරත් එයාලා ඒක දේවකාරියක් වගේ කරන්නේ.
අපේ මිස්ලා සහ අපි, වන්නි හදවතේ පිහිටි අපේ ඒකකය වෙත උතුරේ හැම පැත්තෙන්ම එන අම්මලා අපි බලාගත්තේ දරුවෝ වගේ.
මේ රෝහල නැවත පණ ගන්වන්න එහි හා හා පුරා ගිය තරුණ විශේෂඥ වෛද්‍යවරු සහ පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන්ට හැකිවුණා. අලුතෙන්ම යුරෝපා රටක් මුල්වෙලා හැදුව මේ රෝහල යුද්දෙ අවසානයේ තිබුණේ කහල ගොඩක් බිත්ති ටිකක් විතරයි. ඒක ඉන්පසු, ඉතා පිළිවෙල , ශල්‍යාගාර දෙකක් සහිත දිස්ත්‍රික් මහ රෝහලක් බවට පත් කරන්න එවකට හිටි වෛද්‍ය අධිකාරී ඇතුලු සියල්ලෝම එකාමෙන් වැඩ කළා.
විශේෂඥ වෛද්‍යවරයා අවදානම් කරුණු සහිත “චෙක් ලිස්ට්” එකක් එක්ක කොලයක් හැදුවා. බලපු ගමන් අවදානම් අම්මලාව අවදානම්ද කියා ඕනෙම කෙනෙක්ට හඳුනා ගන්න පුළුවන් ආකාරයේ එකක්.
දකුණු පැත්තේ එක කරුණකට හරි ඉදිරියෙන් කතිරයක් තියනවානම් අවදානම් ගර්භනී අම්මා කෙනෙක්…ඒක දැන් එහෙ පාවිච්චි වෙනවද මන්දා. හැබැයි ඒක ඒ කාලේ හරි වැදගත් වුණා.
අපි ඒ අයව බලන්නේ ගර්බනි කාලය පුරාම එක් වරක් හෝ දෙවරක්, එහෙත් මාස් පතා ඒ අයව බලාගන්නේ එයාලගේ අදාල ගමේ මාතෘ සායන යෙන්..
එහෙත් එහිදී නොසලකා හරින ලද යමක් හෝ අලුත් රෝග තත්ත්වයක් අනාවරණය වුණොත්, අපේ ඉන්න මිඩ්වයිෆ් මිස්ලා ටෙලිෆෝන් එක සිඹ සිඹ කතා කරනවා අදාල ප්‍රදේශයේ මිඩ් වයිෆ් මිස්ට…
ස්කූටි එකේ විගහින් ඇවිත් හෙල්මට් අතින් අරන් වාට්ටුවට දුවගෙන එන්නත් වෙනවා. ඩෝස් එකක් හෙවත් දෝස්මුරයකුත් ලැබෙනවා.
මට මතකයි ලිෆ්ට් එකක්වත් වැඩ නොකරනකොට බඩදරු අම්මලා ස්ටෙචර් පිටින් පඩි පෙලේ උඩට උස්සන් යන්න අපිත් අත්වාරු දෙනවා.
දවසක් ඕපී ඩී එකෙන් වීල් චෙයා එකක එවපු අම්මෙක් පඩිපෙල පාමුල ඉඳගෙන දරුවා ප්‍රසූත කරනවා, සුළු සේවිකාව උඩට දුවන් ඇවිත් කියද්දී අපි පහළට දුවලා… එතනම සියලු ජීවානුහරණය කරන ලද තුවා ෂීට් එළලා දරුවා අරන් අම්මාව ස්ට්‍රෙචර් එකට දාගෙන උඩට දිව්වා…පඩි පෙළ පාමුල කියලා මොකද දරුවා එද්දී නවත්තන්නයෑ…
ලංකාවේ හැම අස්සක් මුල්ල ක් ගානේ ඇවිදලා ගර්භනී සහ ළදරු ගැටළු තමන් ගේ කරගෙන වැඩකරන සායන පවත්වන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල වල සියල්ලන්ට තුති පුදමි.
ඉතින් මේ සිරිපා අඩවියේ උපන් දරුවාට අම්මාට කිසි කරදරයක් නොවූ එක බොහොම වටිනවා. ඒත් එහෙමයි කියලා ආයේ මේවගේ අනුවණ කම් සිදු කරන්න පෙළඹවීමක් ඇති වුණොත් ඒක හරිම නරක වැඩක්. ජීවිත හානි වෙලා නවතින්න හැකි වැඩක්.. එනිසා කාරුණිකව ඉල්ලා සිටින්නේ තමන්ගේ ජීවිතේ අවදානමේ දමා ගන්න එපා කියලා.
වෛද්‍ය බෝධිනි සමරතුංග
මං හිතන්නේ ඉස්සර කාලේ ගෑණූ ගෙවල් වල මහන්සි වෙලා වැඩ කරපු නිසා ඒ ඇගවල් වල හොද දරා ගැනීමේ හැකියාක් තියෙනවා. ඒ වගේම ලමයි හම්බෙන කොට උනත් සංකූලතා අඩු ඇති. ඒත දැන් කාලේ ජීවන ක්‍රමය වෙනස් නිසා ලමයි හම්බෙනකොට සංකූලතාවනුත් වැඩි ඇති. මේක අදහසක් පමනයි. මං හිතන්නේ නෑ මේ ගැන කවුරුවත් ශාස්ත්‍රීය පරීක්ශනයක් කරලා ඇති කියලා – Mayya – https://maiyyagelokaya.blogspot.com/