ඉහළ අහසේ පැය එකොළහක ගුවන් ගමනක් අතර තුර ” වෛද්‍යවරයෙක් ඉන්නවා නම් කරුණාකර අපේ ස්ටාෆ් එකේ අයට ඔබව හඳුන්වා දෙන්න” කියා ඇසුනේ අඩ නින්ද අතර තුරය….
ගුවන් සේවිකාවක වෙත ගොස් පැවසූයේ මා වෛද්‍යවරයෙක් බව ය. ඔවුන්ට මගේ ලියාපදිංචි විස්තර ID එකද ඕනෑ විය. හදිසි ප්‍රතිකාර මෙවලම් මල්ල අරින්න ලියාපදිංචිය ලත් වෛද්‍ය වරයෙක් උවමනාය. එසේ නැත්නම් ඔවුන් ළඟම ගුවන් තොටුපලක් වෙත ගොස් රෝගියා බාර දෙන්නේ ලු. හයේ හතරේ ඉලන්දාරියෙක් පොළොවේ දිගා වි ගුවන් යානා බඳට කකුල් දෙක තබාගෙන සිටි.
සිහි නැතිවී නොමැත. හිස කැරකෙන බවක් කියයි. යානාවට ආ වෙලාවේ ඉඳන් නිදාගත්තා මිසක කෑවෙත් බිව්වෙත් නැති බව කියයි.
දශකයක්ම වැඩ කළේ emergency හෙවත් හදිසි අවස්ථා මූණ ගැහෙන කායික රෝග , ප්‍රසව හා නාරි වේද සහ ළමා රෝග වාට්ටු තුළ ය. බොහෝ වෙලාවට රෝහල් වාට්ටුවට සහ හදිසි ප්‍රතිකාර ඒකකය සඳහා රාත්‍රිය පුරා Oncall සිටින්නේ තමන් පමණකි. සිහි නැතිවීම් ෆිට් එක වගේම සුළු හදිසි අවස්ථා ලේ දැන් දීමේ කඳවුරු තුළ දී ද මදි නොකියන්න සිදුවෙන නිසා හුරු පුරුදුය. හැම අවුරුද්දකම යාවත්කාලීන කරගන්නා දැනුම, වැඩමුළු නිසාද ප්‍රායෝගිකව මුහුණ දීමට සිදුවීම නිසා ද ඕනෙම හදිසි තත්ත්වයක් බලා කියා ගන්න හැකිය.
මුළු යානාවටම හිටියේ මා පමණි… මම දැන් ප්‍රජා වෛද්‍ය අංශයේ බවත් එහෙත් තත්ත්වය බලා යම් උදව්වක් විය හැකි බවත් පවසා එහි ගොස් අවශ්‍ය දෑ සිදු කළෙමි.
නාඩි, හෘදය, ඇස හිස ඇතුළු සියලු බේසික් පර්යේෂණ ටික කර ඉන්පසු අර අපිට පමණක් අරින්න පුළුවන් මෙවල්ම් පෙට්ටිය ඇර ප්‍රේශර් සීනි බලා. ප් රේශර් අඩුවී තිබුණු හෙයින් (90/50) නැගිටලා වතුර බොමු නැත්නම් තව අඩු වුනොතින් කැනියූලා දාලා iv දෙන්න වෙන බව කීවෙමි. එය සඳහා මෙහි අවකාශයක් නැති බව ද කීවෙමි. කොලුවා එකපාරක් වතුර බී නැවත ඇල වුනේය…. ටිකකින් හරි යාගෙන එන බව දැනිණි ඉදගෙන වතුර කෝප්ප දෙකක් ජුස් කෝප්පයක් බිව්වේය.
ටිකක් හරියාගෙන එද්දී ඔහුගේ විස්තර කීවේය. ස්තුති කළේය.
මිනිසුන් ගුවන් ගමන්වලදී ක්ලාන්ත වන්නේ ඇයි?
ක්ලාන්ත වීම ඇත්ත වශයෙන්ම ගුවන් යානයක වඩාත් පොදු හදිසි රෝගී තත්ත්වයක් බවයි කියන්නේ. එය වායු කුටියේ පීඩන වෙනස්කම් නිසා මොළයට ඔක්සිජන් අඩුවීම, දිගු වේලාවක් වාඩි වී සිටීමෙන් පසු ඉතා වේගයෙන් නැගී සිටීම නිසා හෝ, විජලනය වීම හෝ Vasovagal Syncope නමින් හඳුන්වන තත්වයක් නිසා විය හැක.
ගුවන් යානයකදී ක්ලාන්ත වීමෙන් වළක්වා ගැනීමට තවත් උපදෙස් කිහිපයක් මෙන්න:
- ගුවන් ගමනට පෙර සහ අතරතුර හොඳින් ද්‍රාවණ ලබාගෙන විජලනය වීම වලක්වා ගන්න. මත්නොවන ද්‍රාවණ වීම වැදගත්.
- නිසි කලට ආහාර සහ ඔබේ සුපුරුදු ඖෂධ තිබෙන්නේ නම් අරගන්න.
- හැකි සෑම විටම නැගිට ඇවිදින්න පහසු ආසනයක වාඩි වන්න.නිතර නැගිට ඇවිදින්න.
- ඔබේ පහළ පාදවල රුධිරය සංසරණය වීම සඳහා වාඩි වී සිටින විටද ව්‍යායාම කරන්න.
- සැහැල්ලු ඇඳුම් අඳින්න.
- අසනීපයක් දැනෙන පළමු සංඥාවේදී, ඇමතුම් බොත්තම ඔබා ඒ ගැන ගුවන් සේවක පිරිස දැනුවත් කරන්න.
- ඔබේ ශරීරයේ සීනි මට්ටම ගැන සැලකිලිමත් වෙන්න. පැය ගණනාවක් යන ගුවන් ගමනක් නම් අනිවර්‍යයෙන්ම ආහාර ගන්න.
සීමාවාසික යේ පටන් අසීමිත රෝගී කන්දක් එක්ක වැඩ කළ , කායික රෝග වාට්ටුවක තනියම (එකම සීමාවාසික දොස්තර) මාස දෙකක් භාරව වැඩකටයුතු කළ කාලය මේ ලියන මොහොතේ මතක් විය. ඒ දුෂ්කර කාල අපිව වඩා සුපරික්ෂාකාරී වෛද්‍යවරුන් කළා නොවේද කියා සිතේ.
රෝගී වූ කෙනා පරීක්ෂා කර මා කී ආකාරයට උදව් උපකාර සත්කාර කරන්නට ගුවන් සේවා නිලධාරිනීයන් ද යුහුසුළු ව උදව් විය. ඔහුට බිස්නස් ක්ලාස් එකේ දිග ඇරපු ඇඳක සුව පහසු ලෙස ගමන් කළ හැකි විය. එ නිසා යාන්තම් ලෙඩ වූ කෙනාගේ තත්ත්වය හරි ගියේ ය. නිරුපද්‍රිතව ගමන නිම කළ අතර emergency landing අවශ්‍ය නොවීය.
ඉතින් දැන් මේ සිදුවීම සිදුවී කාලයක් ගෙවී ගොස් ඇති නිසා මතකය පිණිස ලියා තබමි.
මට මතකයි …වෛද්‍ය ශිෂ්‍ය කාලයේ මම අහපු දෙයක් ..
“රෝගියා සහ ජීවිතය අතර තීරණාත්මක සාධකය ඔබ වෙන මොහොතක් ඒවි ! එනිසා හරියට ඉගෙන ගන්න ! ” කියා.
ඒ මොහොත කොයි වෙලේ උදා වේවිද දන්නේ නෑ….
මේ එහෙම අවස්ථාවක්. ඔබ වෛද්‍යවරයෙක් නම් කඩපිලේද, මහ මගද නිවසෙද ගුවන්යානාවෙද කියා වෙනසක් නැත . මිනිසුන් ජීවත් කරන්න අත්‍යාවශ්‍ය මොහොතේ ඔබ ඒ දේ කළ යුතුම ය. මොකද ඔබ බැඳී ඉන්නවා ඕනෙම මොහොතක ජීවිත සුරකින්න.
මීට කලින් දිල්ලි ගුවන්තොටුපලේ දී transit පෝලිමේ ඉන්නකොට වලිප්පු ව ඇති වූ රෝගියෙක් මැනේජ් කළ හැටි සායනික සටහන් නොවේ පොතේ මා ලියා ඇත. එදා ගුවන් යානාවටම වෛද්‍යවරයෙකු ලෙස සෞඛ්‍ය සේවකයකුට හිටියේ මා පමණි.
මෙවර මේ ඔක්කොම ඉවර වෙලා incident form පුරවන්නත් වුණා. ඒවානම් අපිට පුරුදුයිනේ … වෛද්‍යවරයෙක් ලෙස වැඩ කරන ඕනෑම මොහොතක ඉස්සෙල්ලා රෝගියා බේරාගෙන පසුව පුරවන්න ලිපි ලේඛන හෝ ඇඳ ඉහපත් තිබෙනවා. ලේ දන් දීමේ කඳවුරු වලත් මෙහෙම හදිසි අවස්ථා වුනෝතින් ඒ ගැන පුරවන්න ෆෝර්ම් තිබෙනවා. ඉතින් මෙවෙලේ මම ඒ පුරවපු ෆෝර්ම් එකෙන් කොපියක් මටත් ලැබෙනවා. ඒක තමා මේ අමුණා තියෙන්නේ. ලියූ කොටස් මකා දමා….
ඒවගේ මොහොතවල් වලදී ජීවිතය රැක ගැනීම සඳහා ඔබේ අධ්‍යාපනය සහ පුහුණුව හරි හැටි කරගන්න ! යාවත්කාලීන වෙන්න !
තමන්ගේ ආත්ම විශ්වාසය ගොඩ නංවා ගන්න.
මං හිතන්නේ ඒ මොහොතවල් ඉදිරිපත් වීම තම තමන්ගේ කැමැත්ත. ඒවගේම තමා කේනෙක් තමන්ගේ වපසරිය capacity එකත් පැහැදිලිව කියන්න ඕනේ. මගේ මහාචාර්යවරිය මේ කතා අහලා කීවේ… එයා යන එනකොට එහෙම කතා කරානම් එයා එවෙලේ මොනා කරන්නද දන්නේ නෑ කියා…මොකද එයා වෛද්‍යවරියක වුණත් අවුරුදු තිස් ගානක්ම ප්‍රජා වෛද්‍ය අංශයේ විශ්වවිද්‍යාලයේ උගන්වන පර්යේෂණ කරන ඕවා නිසා ලෙඩ්ඩු බලලා ඉමර්ජන්සි මැනේජ් කරලා නැති නිසා. ඒකයි තමන්ගේ capacity එක තමන් දැනගන්න ඕනේ. මමත් මගේ ලෙවල් එකට හැකි දේවල් කළේ.
අනික මේ වෙලාවේ මොනවා හරි වුණොත් වගකීම සේරම අපි මත. එකත් එන added risk එකක්… ලංකාවේ වගේ තමා පණ බේරුවොත් දෙයියා. නැත්නම් අපේ මැනේජ් මන්ට් එක වුණත් ප්‍රශ්නකාරී වෙන්න පුළුවන්.
So volunteering is risky at times. It’s a personal choice I guess.
වෛද්‍ය බෝධිනී සමරතුංග
(කොපි කර නැවත බෙදාගන්න එපා ! මේ සටහන් ෆේස් බුක් එකේ Bodhini Samaratunga නමින් ඇති මගේ පිටුවෙන්ද බෙදාගෙන තියෙනව. ඉතින් මේවා නැවත නැවත කොපි කරමින් ඔබේ පිටු පුරවන්න එපා යැයි කාරුණිකව ඉල්ලා සිටිනවා. ඒත් ඔබට බෙදාගැන්මට අවශ්‍ය නම් මේ වෙබ් පිටුවේ ලින්ක් එක බෙදා ගන්න! )