දින කීපයකට කලින්, ආවා අත පය සීතලම සීතල වෙලා ලොකු දරුවෙක්,
ප්ලේට්ලට් ඊට කළින් දවසෙ, 190 එදා 70 , pcv ඉහළම අගයක්. හුස්ම ගන්න අමාරුයි. පපුව රිදෙනවා. බඩ දකුණු පැත්ත හොඳටම රිදෙනවා. ඇඟ ඇතුලේ හිස් ඉඩවල් තරල වලින් පිරිලා. ඇගේ අත් පා සියල්ල අයිස් කුට්ටියක් වගේ සීතලයි.
දවසෙන් platelet බහින්න පුළුවන්ද ? ඔව්.
දින එකෙන් දෙකෙන් platelet නගින්නත් පුළුවන්ද ? ඔව්,
මොකද, ඩෙංගු කියන්නේ වෛරසයක්. මේ වෛරසය අපි එකිනෙකාගේ වෙනස් ශරීර වල වෙනස් ආකාරයට ක්‍රියාකරන්නේ අපේ ශරීරයෙන් දක්වන වෙනස්කම් සහ සටන් කරන ක්‍රමය අනුව. ඒ කීවේ මොකක්ද කියලා මම පැහැදිලි කරන්නම්.
ඉස්සර මිනිස්සු වෛරස් උණට කළේ කොත්තමල්ලි වෙනිවැල්ගැට වගේ දේවල් බීලා හොඳට ද්‍රාවණ ඇඟට දාගෙන විජලනය වෙන එක නතර කරගන්න. සාමාන්‍ය වෛරස් උණ නම් දින තුනක් උපරිම උණ අමාරුකම් තිබිලා හොඳ වෙනවා, ඇඟෙන් බෙහෙත හදාගෙන ඒ කීවේ අපේ ශරීරයේ ආරක්ශක සෛල වර්ග සහ ප්‍රතිදේහ හදාගෙන වෛරස් වලට විරුද්ධව සටන් කරන නිසා.
ඉතින් අර තෙල් මේතෙල් හෝ ගල් කෑලි වලින් කරන්න පුළුවන් දෙයක්ද ඒක කියලා මටනම් හිතාගන්න බෑ. ඒක මගේ අවිශ්වාසෙ නේ. එනිසා ඒවගේ දේවල් ඔය විශ්වාස කරන අය ඒ ගැන කලබල වෙන්න එපා. මොකද අපි ඩෙංගුම අවුරුදු ගාණක් තිස්සේ දැකලා දැකලා, ඒකේ ක්‍රමවේදය , අවුල් වෙන තැන් සහ හරියටම හරිගස්සාගෙන ගොඩ දාගන්න ක්‍රම අපිට කියා දීලා සහ අත්දැකීමෙන්ම දන්නවා.
NS1 antigen positive නම් ඒ කියන්නේ ප්‍රතිදේහජනක (antigen – අපේ ඇඟේ ප්‍රතිදේහ ජනනය කරන ඕනෑම කාරකයක්..) පොසිටිව් නම්, දිනපතා රුධිර පරීක්ශණ කරලා ප්ලේට්ලට් අගය හොඳයිනේ කියලා ගෙදර ඉන්න එපා. වෛද්‍ය උපදෙස් අරගන්න, වඩා හොඳ වෛද්‍ය උපදෙස් මත රෝහල්ගත වෙන එක.
antigen හෙවත් ප්‍රතිදේහ ජනක නෙගටිව් හෝ නැති වෙලත් ප්ලේට්ලට් බහින්න පුළුවන්ද ? ඔව්… ඒක විවිධ සාදක මත බලපාන නිසා ඒක හරියටම නිවැරදි දත්ත ලබා නොදෙන්න පුළුවන්. ඒක නෙගටිව් වෙලා සතියකින් පමණ පසු ප්‍රතිදේහ ටෙස්ට් එක කළාම ඒක පොසිටිව් වෙච්ච අවස්ථා තියෙනවා. ප්‍රතිදේහ antibody ටෙස්ට් එක කරන්න ඕනෙ ටිකක් දවස් කල් අරගෙන මොකද ඇඟේ ප්‍රතිදේහ හැදෙන්න කල් යනවා.
ඩෙංගු කියන්නේ වයිරස් උණක් නේ, ඇඟෙන්ම ප්‍රතිදේහ හදලා ඒවට විරුද්ධව සටන් කරනවා. හැබැයි අමාරු වෙන්නේ ඇතිවන සංකූලතා වලින්.
මූත්‍රා ප්‍රමාණ මනින එක සහ දියර පාලනය තමයි මැජික් එක ! ඒක හරියටම කරගත්තොත් ගොඩ.
ඉතින් මම මුලින් කියූ එදා ආපු දරුවගේ මුත්‍රා පිටවෙලා තිබ්බේ නෑ. ඒවෙනකොට පැය 8 ක් විතර . ඒක මහ නරකම වැඩක්.. එනිසා අපි පීසීවී එකක් ඉක්මනින් බැලුවා, ඒ කියන්නේ, ඇඟේ ලේ වල සෛල ප්‍රමාණ තරල ප්‍රමාණ අතර අගය. එතකොට ඒකෙන් අපිට විජලනයක් තියෙනවද කියලා හොයාගන්න පුළුවන්. ඒවගේම නාඩි, හර්ද ස්පන්දනය, රුධිර පීඩනය, සහ බාහිරින් අපිට පෙනෙන දැනෙන දේ , ඒ කියන්නේ හුස්ම ගනිද්දි පෙනහළු දෙකේම එකවගේ වාතය පිරෙනවද, අඩුද වගේ දේවල් නලාවෙන් ඇහෙනවා. එතකොට අර ඇඟේ හිස් අවකාශ වලට, ඉන්ද්‍රියන් වටා තරල පිරෙන එක අඳුරගන්න පුළුවන් කළින්ම. vascular leaking කියලා රුධිර නාල වල තරල අපේ ශරීරයේ හිස් අවකාශ වලට පිරෙන අයුරක් මෙහිදී දක්නට ලැබෙනවා
ස්කෑන් කරන්නේ පස්සෙ. අපි හොයාගත් දේවල් හරියටම හරිද බලන්න.
ඉතින් කළින් කීවා වගේ… වෛරසය ශරීරගත වුනත්, ලක්ෂන පහළ වෙලා රෝහල් ගත වෙන්න වෙන්නෙ 10% වගේ ප්‍රමාණෙකට, ඒකෙනුත් ඩෙංගු රුධිර වහනය වීම් සහිත රක්තපාත තත්වයට යන්නේ 1% විතර ප්‍රමාණයක්.
ඒක වාට්ටුවල වැඩ කරද්දී කොයි තරම් ඇත්තද කියලා හිතෙනවා. මේ මාස කිහිපයක් ම… ඩෙංගු අධික පළාත් ආශ්‍රිතව වසන නිසා ඩෙංගු උණ ලක්ෂන සහිත ළමුන් දෙතුන් දෙනෙක්වත් දිනකට ඇඩ්මිට් වෙනවා ඒ අයගෙන් එක්කනෙක් හෝ සමහර විට සියලු දෙනාම අඩු ප්ලේට්ලට් සහිතව සහ අසාධ්‍ය තත්වයට පත් වෙනවා. ඒ අතරිනුත් ශරීර අභ්‍යන්තරයේ තරල එක් රැස් වීම් සහිතව “leaking” කියන්නේ රුධිර වහන තත්වයන් සහිතව අසාධ්‍ය වෙන්නේ එක් අයෙක් හෝ දෙන්නෙක්…
දැන් ප්‍රතිශතයක් ලෙස ගත්තොත් අපි 90% දෙනාට ඩෙංගු උණ වැළඳී රෝගාතුර වෙන්නෙ නෑ. 10% විතර දෙනෙක්ට හැදෙනවා, රෝහල් ගත වෙනවා, නමුත් ඒකෙනුත් අසාධ්‍යම වෙන්නේ 1%.කට.
අනික උණ දැඩිව තියෙන වෙලාවට, NS1 antigen හෙවත් ප්‍රතිදේහ ජනක පොසිටිව් , තියෙන වෙලාවට අන්න ඒ පුද්ගලයගෙන් ලේ බොන මදුරුවගේ ශරීරයට වෛරසය ඇතුල් වෙන්න පුළුවන්. නමුත් ඒ සැනින් ගිහින් විද්දට අවට අයට බෝ වෙන්නෙ නෑ. වෛරසය මදුරුවගේ ඇඟෙත් යම් කාලයක් තියෙන්න ඕනෙ. (සතියක් විතර ) ඉන් පස්සෙ විද්දම තමයි වෛරසය බෝ වෙන්න පුළුවන්. එතකොට නෙට් දාන්න කියන එකත් ප්‍රායෝගිකයි.. උණ තියෙන දින දෙක තුනේ ( viraemia ) විරේමියා හෙවත් වෛරසය ලේවල ඇති කාලය, සහ ඇන්ටිජන් පොසිටිව් වෙලා දින කිහිපයක් යන තෙක්.
දැන් බොහෝ අය හිතනවානේ ප්ලේට්ලට් නග්ග ගත්තොත් ඒක තමා ප්‍රතිකර්මය කියලා. ප්ලේට්ලට් බැස්ම කියන්නේ දර්ශකයක් විතරයි. ඒ වගේම සුදු රුධිරාණු අඩු වීම, නියුට්‍රොෆිල් අගය අඩු වීම, pcv අගය.. මේ සියල්ල බලන්න ඕනේ. යමෙක් ප්ලේට්ලට් ගාන කියලා උපදෙස් පතනවානම් ඒක කරන්න බැරි වැඩක්.
ඩෙංගු උණ ලක්ෂන ගැන අපට වඩා සමාජය දැනුවත් බව ඇත්ත ! ඒත් එහෙනම් ඇයි අපිට මේ මරණ වලක්වා ගන්න බැරි.
ගොඩක්ම ඒකට හේතුව, අපේම නොසැලකිල්ල. රෝග වාහක මදුරුවන් බෝවන තැන් ගැන සැලකිල්ලක් නැතිවා වගේම, උණ හැදුනම තමන් ගැන බලා ගන්න උවමනාවකුත් නෑ.
එක තාත්තෙක් තමන්ගේ දරුවෝ තුන්දෙනාගෙන් දෙන්නෙක්ම ඩෙංගු උණ හැදිලා නවත්තගෙන හිටියා. අම්මා නැතිවෙලා තිබුනේ ඩෙංගු උණෙන්. දරුවන්ටත් උණ කියමින් ගෙදර වැඩ පළ කරමින්, තාත්තාට උණ ට ගෙනාපු බෙහෙත් බොමින් ඉඳලා ඒ අම්මා නහයෙන් ලේ ගලලා ගෙදර කලන්තෙ දාලා මැරිලා වැටෙනකන්.
මෙහෙම කතා ඕනෙ තරම්… ගොඩක් දරුවො එක්ක එන අම්මලටත් උණ. ඒ අයත් ඉන්පස්සේ වැඩිහිටි වාට්ටුවේ ඇඩ්මිට් වෙනවා.
ඉතින් දවස් තුනකට වඩා උණ තියෙනවනම් අනිවාර් යයෙන් වෛද්‍යවරයෙක් හමුවෙලා රුධිර පරීක්ෂනයක් කරගන්න. ඩෙංගු ඇන්ටි ජන් උණ ගැනී පළමු දිනම හෝ දෙවෙනි දින කිරීම හොඳයි. සාමාන්‍ය රුධිර පරීක්ෂනයක් ඇති. ඒකේ සෛල ගණන් මගින් සහ පැක්ඩ් සෙල් වොලියුම් කියන රුධිරයේ සංඝටක වල ප්‍රමාණය යන මේ දත්ත වලින් වෛද්‍යවරයෙක්ට ඩෙංගු උණ හෝ නොවන බව අනුමාන කළ හැක.
උණට පැරසිටමෝල් ඇරෙන වෙනත් වේදනා නාශක ගන්න එපා ( උදාහරණයක් ලෙස වේදනා නාශක වන ibuprofen, diclofenac sodium ගන්න එපා !!! )
අවශ්‍යම දේ හරියට මැනලා ශරීරගත කරන්න ඕනෙ තරල ප්‍රමාණයන් ඒ ආකාරයෙන්ම දෙන එක. ඒකට ශරීර ස්කන්ධය අනුව සහ රුධිර පරීක්ෂාවේ අගයන් සහ පිටවන මූත්‍රා ප්‍රමාණය මැන බලා ඒ අගයන් එක්ක සංසන්ධනය කරමින් තමයි බර අනුව අවම ප්‍රමාණ මෙන්ම උපරීම ප්‍රමාණ තීරණය කළ යුත්තේ. ඒකට රෝහල් ගත වීම අවශ්‍යමයි.
අර මම කළින් කීවා වගේ හරියට මේ දේවල් කළොත් ඩෙංගු රක්තපාත උණ තත්වය උනත් හොඳින් පාලනය කර ගත හැකියි. ඒත් ගෙවල් වල ඉඳගෙන ගොඩ වෙදකම් කරමින් අන්තිම මොහොතේ අමාරුම වෙලා ,රෝහල් ගත වුනාම නම්, මේ තත්වයෙන් ගොඩ ගන්න අමාරුයි. අවයව ඉන්ද්‍රිය පද්ධති වලට එතකොටත් වෙන්න පුළුවන් හානිය සිදුවෙලා නිසා.
අනික තමයි දරුවන් වුනත් බොන්න බෑ කියද්දී අම්මලා ආ එහෙනම් කමක් නෑ කියලා නිකම් ඉන්න එක.. එහෙමත් නැත්නම් “කන්නෙ නෑ බොන්නේ නෑ අනේ කවන්න ” වගේ දෙයක් ලෙඩුන් උතුරා ගලන වාට්ටු වල එහෙමෙහෙ දුවමින් හෙදකම් කරන මිස්ලාට කියන එක. සේලයින් එකක් එල්ලනකම් ඔය දේ මතුරන එක.
අපි නම් ඩෙංගු උණ රෝගීන්ට නම් බොන්න කියන්නේ ජීවනී, ඒකත් අපි කියන ප්‍රමාණයකට තමයි. ඒක ගණනය කරන්නේ යන මුත්‍රා ප්‍රමාණය, ශරීරයේ බර සහ pcv වැනි අගයන් එක්ක සංසන්දනය කරලා. ගණනය කරලා.
ඊළඟට ආහාර, කඩේන් ගේන ඒවා නොදෙන තරමට හොඳයි. ඔය පිටට පාචනය , බඩ එළියේ යෑම වගේ දෙයක් ඇති වුනොත්. අපේ වාට්ටුවෙත් බබාලගෙ ලොකර් උඩ තියෙන්නෙම , ගෑස් පැණි බීම, කලරින් පුරවපු බෝතල්.
මම අම්මගෙන් අහන්නේ ” ඔය බීම එකේ තියෙන ඒවා දනන්ව ද? ලේබල් එක කියවන්න, නොදන්න ජාති තියේ නම් දෙන්න එපා. ” කියලයි
කොහොමත් ලෙඩින් ඉන්නකොට කඩ කෑම ගෑස් බීම නම් දෙන්නම එපා. ඊට අමතරව රතු පැහැය, හෝ ඊට කිට්ටු පැහැය ඇති කිසිම දෙයක් දෙන්න එපා. මොකද හදිසියේ වමනේ ගියොත්, මලපහ ගියොත් එහි රතු පැහැය තිබුනොත් අපට බේරුමක් කරගන්න අමාරුයි ඒ ලේ වමනේ යෑමක්ද නැත්නම් ආහාර වල ඩයි නිසා හෝ බීට් රූට් නිසා වෙච්ච රතු පැහැ වීමක්ද කියලා.
ලෙඩ හොඳවෙන්න සියයට හැත්තෑ පහක් පමණ නිසි ආහාර ජලය සහ සනීපාරක්ෂාවයි වැදගත්. එනිසා අම්මලාට, බලා කියා ගන්නන්ට විශේෂ වගකීමක් තියෙනවා කුඩා දරුවන් සහ ඇඳන් වලට සීමාවූ වයසක රෝගීන් වෙනුවෙන් කරන්න !
©වෛද්‍ය බෝධිනී සමරතුංග
මේ කතා පෙරදිග සටහන් වෙබ් පිටුවෙන් පිටපත් කර නැවත පල කරන්න එපා කියා ඔබෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා. ඒ වෙනුවට මෙහි වෙබ් ලිපිනය බෙදා ගන්න.