සුව මග මතක 1
(විදුසර පුවත් පතේ පලවු ලිපියකි)
මිනිස් සිරුරේ පටක අන්තිම සෛලය පෙනෙනකම් තුනීවට කපා සකසා තිබූ වීදුරු තැටි, අන්වීක්ෂයක ආධාරයෙන්, පරීක්ෂා කරමින් ඒවායේ පටක සැකැස්ම, සෛල ව්‍යූහය, මිනිස් සිරුරේ සෛල වෙනස් වෙන හැටි සහ වෙනස්වන විට දකින දේ වටහාගන්නා ව්‍යාධිවේදය කියන විෂය උගන්වන මහාචාර්යවරිය පළමු පාඩමට පර්යේෂණාගාරයට ආපු ගමන් හරි අපූරු ප්‍රශ්නයක් ඇහුවා.
“කියන්න බලන්න ඔයාලා අතරේ සිගරට් බොන අය කවුද?” කියන ඒ තමා ඇය ඇසූ ප්‍රශ්නය.
අපි නම් ඒ වන විටත් දැනගෙන හිටියා අප අතර දුම් බොන්නේ කවුද කියලා. ඇත්තටම අපේ යාලුවන්ගේ සිගරට් බීම අපට වදයක් වෙලා තිබුණේ. ඒ අතරත් බෙහෙවින්ම දුම් පානයට ඇබ්බැහි වෙලා හිටිය යහලුවා ඒ බව දන්න නිසා අපි අසල කවදාවත් සිගරට් බීවේ නෑ. එයා සිගරට් බොන්න පටන් අරන් තිබුනේ තරුණ කාලෙදී, ඒක ඒ රටේ හැටි. අපේ රටේ ඒ තරම් වයසකදී සිගරට් බොන අය අපි දැකලා තිබුනේ නැති තරම්. ඒ අපේ රටේ දුම් බීමට එරෙහිව ගෙන ගිය සෞඛ්‍ය ප්‍රචාරණ ක්‍රමවේදය නිසා.
දුම් බීම ලොව පුරා මරණ මිලියන අටකට වගකියන බවත් සිගරට් බොන අයගෙන් අඩක්වත් ඒ නිසා ඇතිවන අතුරු ආබාධ නිසා මියයන බවත් ලෝක සෞක්‍ය සංවිධානයේ දත්ත වාර්ථා කරනවා. සෞඛ්‍ය අංශ නොයෙක් ආකාරයෙන් අනතුරු ඇඟෙව්වත්, දුම් කොළ ආශ්‍රිත ඇබ්බැහිවීම් අඩු කරගන්න අපහසු මිනිසුන් එයට ඇබ්බැහි වීමේ තත්ත්වයක් ඇති නිසා. දුම් පානය සහ දුම් කොළ ආශ්‍රිත විවිද නිශ්පාදන භාවිතය නිසා ඇතිවන සෞඛ්‍ය ගැටලු අතර, පිළිකා, හෘද රෝග, දියවැඩියා, අධික රුධිර පීඩනය වගේ බොහෝ රෝග දක්නට ලැබෙනවා. ඒවගේම තමා දුම් රහිතව භාවිතා කරන දුම්කොළ නිශ්පාදන නිසා පිළිකා තත්ත්ව බොහෝමයක් ඇතිවෙනවා. එයින් සිදුවන ආර්ථික හානිය ගැන කියන සංඛ්‍යා ලේඛණ පෙන්වා දෙන්නේ 80% වඩා දුම් කොළ භාවිතා කරන්නන් සිටින්නේ මධ්‍යම සහ අඩු ආදායම් ලබන පිරිස අතර බව.
දැන් අපේ යහළුවාගෙ කතාව දිහා බලමු. අපි කොච්චරවත් සිගරට් බොන්න එපා කිව්වට එයා කීවෙම, ඒක පුරුද්දක් සහ ඇබ්බැහියක් වෙලා කියලා. මේ අවුරුදු හයක විතර පුරුද්ද, අපි කිව්වා කියලා නවත්වන්න බෑ කියලාත් කියනවා. වැඩිහිටි අයෙක්ට යමක් පැහැදිලි කිරීම අපහසු නිසාත් යුරෝපා සමාජයේ තමාගේ හෝ අනෙකාගේ විදිහ වෙනස් කරන්න යන්නේ නැති නිසාත් අප ඒ හැටි එයාට කියන්න ගියෙත් නෑ. දේශන හෝ වැඩමුළු ඉවර වුණු ගමන් අතර මැද පොඩි විවේකයෙත් ඔහු එළියට දුවලා සිගරට් බොනවා.දුම්කොළ පිළිකා කාරකයක් වන අතර පිළිකා වර්ග බොහෝමයක් ඒ සමඟ ඈඳී තිබෙනවා.
පෙනහළු, ස්වරාලය, මුඛය , අන්නස්‍රෝතය, මුත්‍රාශය, වෘක්ක, බඩවැල්, ගුදමාර්ගය, ගැබ් ගෙල සහ ලියුකේමියා තත්ත්වය දුම්කොළ නිසා පිළිකා තත්ත්වයන් ඇතිවන ඉන්ද්‍රිය ලෙසට ඇමෙරිකාවේ ජාතික පිළිකා ආයතන පෙන්වා දෙනවා. දුම් රහිත හෝ දුම් සහිත යන මේ ක්‍රමවලින්, දුම් කොළ වලින් මිනිස් සිරුරට සිදුවන හානිය බොහොම වැඩි බව ඔවුන් පෙන්වා දෙනවා.
ඉතින් උදෙන්ම අපේ මහාචාර්යවරිය ඇවිත් “සිගරට් බොන්නේ කවුද?” ඇහුවම ඒ වෙද්දි එහෙම බොන එකම කෙනාව, එයාටත් කලින් අපි පෙන්නුවා.
“ආ මට ඔබට තෑග්ගක් තියෙනවා” කියූ ඇය වීදුරු පෙට්ටිවල ද්‍රාවණ පුරවා ගිල්වා තිබ්බ මිනිස්
අවයව අතරින් පෙනහළු දෙකක් තෝරාගෙන ඇවිත් ඔහුගේ මේසය උඩ තැබුවා.
” මෙන්න ඔයාගේ පෙනහළු දෙක.. දැම්ම තියා බලාගන්න” කියල ඇය පාඩම පටන් ගන්න
එයාගේ මේසෙට ගියා. කළු ගැහිච්ච පෙනහළු දෙකක් මේසය මත තිබුණා.
අපේ යාලුවා සෑහෙන වේලාවක් කල්පනා කරමින් හිටියා.
“ඇයි ප්‍රොෆ් මෙහෙම කරන්නේ” කියලත් ඇහුවා.
“යථාර්තයෙන් පැනලා යන්න බෑනේ දරුවා. කොහොමත් ඕටොප්සි කරද්දී ඔයාට මේවා හොඳටම පෙනෙයි. ආතෙරෝස්කෙලෝසිස් තත්ත්වය ඇති ධමනි මං පෙන්වන්නම්කෝ, යුරෝපේ, අපිට smokers lungs (දුම් බොන අයගේ පෙනහළු) සහ , Artherosclerosis (ධමනි බිත්ති ඝණ වීම්) අඩු නෑ” මහාචාර්‍යවරිය පැහැදිලි කරා. ඕටොප්සි කියන්නෙ ප්‍රාණය නිරුද්ධ සිරුරු විච්ජේදනය කර මරණයට හේතු සොයා බලන එකට. දෙවෙනි දවසෙත් මහාචාර්‍යවරිය පන්තියට ආ සැනින් බැලුවේ ඔහු ඉන්නවද කියලා.
“ආ කොහොමද දරුවා… ඉන්න ඉන්න.. මෙන්න ඔයාගේ පෙනහලු” අර වීදුරු පෙට්ටිය ඔහුගේ මේසය මත තියලා ඇය පාඩම පටන් ගන්නේ.
මේ පිටුවේ ඇති පින්තූරේ දැක්වෙන්නෙ smokers lungs, හෙවත් සිගරට් බොන කෙනෙක්ගේ පෙනහළු දෙකක්. ඔබ සිගරට් බොනවානම් මේ පින්තූරේ බිත්තියේ ගහගන්න. ඉන්පස්සේ දිනෙන් දින ඔබේ පෙනහළුවලට වෙන දේ ඔබේ හුස්ම ටිකට වෙන දේ වටහාගන්න. සිගරට් කියන්නේ ශරීර සෞඛ්‍යට අහිතකර දේවල් ගොන්නකින් එකක් තමා. ඒත ඒක අපට
ලේසියෙන් වලක්වාගත හැකි හානියක් ලෙස හඳුනාගෙන ඇත්තේ.
අපේ යාලුවා කීවේ එයා බීපු සිගරට් ප්‍රමාණයේ තරමට පෙනහළුවලට සිරුරට සිදුවුණු ඒ හානියෙන් මිදෙන්න අවුරුදු දහයක්වත් ගතවෙයි කියලා. ඒවගේම තමා දුම්කොළ ඇබ්බැහිය සහ දුම්පානයට වැට බඳින්න ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් දුම්කොළ පාලනය පිළිබඳ සම්මුතියක් ප්‍රකාශයට පත් කර තිබෙනවා (WHO FCTC). එය ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුග්‍රහය යටතේ සාකච්ඡා කරන ලද පළමු ගිවිසුම යි. එය, උසස් ප්‍රමිතියෙන් යුත් සෞඛ්‍යයක් සඳහා මිනිසාට ඇති අයිතිය යළි තහවුරු කරන, සාක්ෂි මත පදනම් වූ ගිවිසුමක්. වෙළඳපල ඇති ඉල්ලුම, රටවල්වල ඇති විවිධ වෙළඳ සම්බාධක ලිහිල් වීම, වෙළඳපොළේ නිදහස වැනි කාරණා නිසා දුම්කොළ වසංගතය පැතිරීම පහසු කරයි. අප රට ද මේ ගිවිසුම හා එකඟතාවය පළකර එයට එකතු වූණේ 2016 දී ය. දුම්කොළ සඳහා ඇති ඉල්ලුම අඩු කිරීම සඳහා මිල සහ බදු වැඩි කිරීම , ප්‍රචාරණය වැලැක්වීම, ප්‍රජාව, දුම්කොළ දුමාරය ට නිරාවරණය වීමෙන් ආරක්ෂා කිරීම. දුම්කොළ නිෂ්පාදනවල අන්තර්ගතය නියාමන ය කිරීම වැනි දෑ මෙන්ම අප රටේ පවා ක්‍රියාත්මකවන බාල වයස්වල අයට දුම්වැටි විකිණීම තහනම් කිරීම, සෞඛ්‍ය අනතුරු ඇඟවීම් සහිත දවටන, පොදු ස්ථානවල දුම්පානය වැලැක්වීම වැනි බොහොම සාර්ථක දුම්කොළ දුම්වැටි ප්‍රචාරණය වළක්වන ක්‍රමවේද මේ හරහා දියත් වෙනවා.
ඒත් තවමත් දුම් රහිත දුම්කොළ භාවිතය අතින් අප රට වගේම දකුණු ආසියාතික රටවල් ඉදිරියෙන් ඉන්නවා. බුලත් විට වැනි දේ ඔස්සේ දුම් රහිත දුම්කොළ භාවිතය හරහා කලින් පැහැදිලි කළ පිළිකා, බෝ නොවන රෝග ඇතිවීමේ අවදානම තිබෙනවා. දුම්කොළ වවන තැන්වල වැඩකරන සේවකයින්ට පවා සෞඛ්‍ය හානි ඇතිවෙනවා. ආර්ථිකයට ඒ තුලින් මූල්‍යමය ශක්තියක් සැපයෙන නිසා දුම්කොළ වගාවට වැට බඳින්නට තවම අපහසු වී තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ මූලිකත්වයෙන් අදවන විට මේ දුම් රහිත දුම්කොළ භාවිතය අවම කරන්නටත් විවිධ විදි විධාන ක්‍රියාත්මක වෙනවා. කළු පෙනහළු බැලූ යහළුවා තුළ හරි අපූරු වෙනසක් සිදුවෙනවා. තවත් දවස් දෙක තුනකට පස්සේ ඔහු මුළු පන්තියටම කියනවා,
“අවුරුදු 16 සිට නොකඩවා දුම් බීව මම මෙතැන් පටන් දුම් බොන්නේ නෑ. ඒක එහෙම තමා..ඔයාලා පිළිගන්නවානම් පිළිගන්න. ප්‍රොෆ් ඔයාට තමා මේකේ ප්‍රණාමය. මම බීපු දුම් තොගේට මගේ පෙනහළු දෙක දැනටමත් මෙහෙම වෙලා ඇති ඒත් තව අවුරුදු හතක් අටක් යද්දී මේ සියල්ල ඉවත්වෙලා යතා තත්ත්වයට පත් වෙයි.” එහෙම කියලා එයා ආයෙම ඒ කළු පෙනහළු සහිත වීදුරු පෙට්ටිය ගිහින් රාක්කයෙන් තියනවා.අපි හැමෝටම එතැන් පටන් තිබ්බ ප්‍රශ්නේ යාලුවා අපට බොරුවක් කරනවාද කියලා බලන එක. සතියක් තිස්සේ අපි එක්කම රෝහල් සායන සියල්ලට යනවා. කිසිම ආකාරයකින් සිගරට් එකක් ගැන කතාවක් නෑ.
“ඔයාට නිකොටින් පැච් එකක්වත් එපාද ?” බැරිම තැන කෙනෙක් අහනවා. සිගරට් බීම නවත්වන්න අවශ්‍ය අය සමහර විට විකල්ප ක්‍රම භාවිතා කරනවා. ඒවා නිකොටින් පැච් හෙවත් දුම්කොළවල අඩංගු නිකොටින් නම් රසායනය කෘතිමව හම හරහා නිකුත් කරන ඇලවුම්, ඊළඟට වෙනත් රසායන අඩංගු දුම් පයිප්ප වැනි දෑ තිබෙනවා. ඒත් පර්යේශන පෙන්වා දෙන්නේ ඒවා වෛද්‍ය නිර්දේශ මත ප්‍රතිකර්ම ලෙස භාවිතා කරන්නෙ නම් ඒවා අඩු කාලයකින් භාවිතය නවත්වන්න කියලයි. යහළුවා ඒ විකල්ප ප්‍රතික්ෂේප කරනවා.
“නෑ එපා. හිතට කීවා මේක නවත්වමු කියලා. දැන් ඇති කියලා හිතුවා ! එච්චරයි” එයාගේ කතාවෙන් අපි පුදුම වෙනවා.
“හිතට පුළුවන් නවත්වන්න. ඇඟේ ප්‍රශ්න ඉවසන්න ඕනෙ”අවුරුදු දෙකක හමුදා සේවය එහෙම නිමකරලා වෛද්‍යවරයෙක් වෙලා දැන් විශේෂඥ වෛද්‍යයවරයෙක් වෙන්න පූහුණුව ලබන මිතුරා කීවා.
එයා ආය කවදාවත් සිගරට් බිව්වේ නෑ.
වෛද්‍ය බෝධීනී සමරතුංග
ඔබෙන් කෙරෙන කාරුණික ඉල්ලීම නම් මේවා පිටපත් කරගෙන නැවත පල කරන්න එපා ! ඒ වෙනුවට මේ වෙබ් පිටුවේ ලින්ක් එක බෙදා ගන්න.