මුහුණු පොත මත අකුරු කරන ලද අපූරු ජීවන දහමක අන්දරයක් පොතකට කැටි කර තිබුනේ කටුමැට්ටෙන් එහා.., නමින් ය. කතුවරියගේ ස්වයං චරිතාප්‍රධානයක් ලෙසින් දිවෙන මෙහි ළදරු කාලයේ සිට විශ්‍රාම දිවිය දක්වා ගලායන කතන්දරය දශක ගණනාවක ජීවන තොරතුරු මෙන්ම සමාජීය, සංස්කෘතික සහ දේශපාලන විපර්‍යාස ද අපූරුවට කැටි කරගත් විශ්ව කෝෂයක් බඳු යැයි මට හැඟිනි.
මා නිරන්තරයෙන් සඳහන් කරන පරිදි, ලියන්නාට සමාජ කර්තව්‍යයක් තිබේ. හුදෙක් වින්දනීය මායිමෙන් එහා ගෙන ගොස් සමාජ සාධනීය කාර් යය භාරයක් ඉටු කිරීමට වීර් යය දරණ පොත් හමුවෙන්නෙ කලාතුරකිනි. පිටු 432 වන මේ බරසාර පුස්ථකය ලියන්නට අරමුණු වූයේ දශක ගණනාවකට පෙර අප රටේ තිබූ අධ්‍යාපන ආර්ථික දේශපාලන සකැස්ම, වෘත්තීය ගෞරවය සහ සමාජයේ යහපැවැත්ම වැනි කරුණු ගැන වර්ථමාන පරම්පරාව දැනුවත් කර සාකච්ජාවක් ඇති කිරීමේ බලාපොරොත්තුවෙන් බව සඳහන් කරමින් මේ අපූරු පොතේ කතුවරිය හෙවත් මාලිනී අබේවික්‍රම ගුරුමව් පළමු පරිච්ජේදය ආරම්භ කර ඇත.
සීරුවෙන් පොත කියවමින් ඉන්නා අතර මතක ගොන්නක් ඇවිස්සේ. මෙය කාලානුරූපීව ඉතිහාසය, ජීවිතය සහ සමාජ වෙනස්වීම් පෙන්වන අපූරු කැටපතක් බඳු යැයි හැඟේ.
මෙහි කතන්දර කියමින් බත් කැවු අම්මා ඉතා වටිනා අවවාදයක් රැගෙන ඒ. “දරුවන් ට story time එකක් ඕනෑ ය…” ඇය ලියන ඒ වැකිය මහඟු පාඩමකි. දරුවන්ගේ පරිකල්පන ශක්තිය වැඩෙන්නට කතන්දර ඇසීම බොහෝ සෙයින් වැදගත් වන බව පර් යේෂණ මගින් ඔප්පු කර ඇති කරුණකි. ඒ ගැන ඇය සඳහන් කරන්නේ වැඩිහිටියන් සිහියෙන් දැරිය යුතු පණිවිඩයක් මෙම පොත කියවන්නා වෙත ගෙන එමිනි.
ඇතැම් පොත් අප කියවන විට ලියන්නාගේ සවිස්තරාත්මක පද බැඳුම් ඔස්සේ අප මනසේ චිත්තරූප මවාගනිමිනි. ඇය මේ ලියා ඇත්තේ දශක ගණනාවක ජීවන ගමන් මගක, සමාජ පෙරළියක වතගොත ය. තමන්ගේ කුඩා කාලයේ පටන් ජීවිත චක්‍රයේ වෙනස් කම් විස්තර කරන්නේ බොහෝ සංයමයකිනි. ඇය ස්මරනය කරමින් ලියන්නේ දශක ගණනාවක් පැරණි මතකයන් ය. මෙහි පළමු පරිච්ච්ජේදයේ පොල්හගහවෙල මධ්‍ය මහා විද්‍යාලයේ ආරම්භය ගැන ඇය ලියන්නේ මෙයින් වසර 66 කට පෙර සිදුවූ දෙයක් ලෙසින් වුවද, ගෙදරින් ඇඳන් ගිය සුදු ගවුමේ සිට උත්සව සභාවේ වගතුග මෙන්ම, එක් එක දරුවාගේ වාසගම් සහ ඔවුන් පැමිණි ගම් පලාත් පවා සඳහන් කරමින් විස්තර කරද්දී ඇය තුළ කතා කියන්නට ඇති සමත්කම විදහා පෙන්වයි.
මගේ පන්තියේ ළමුන් තිහකි. ඉන් දෙන්නෙක් ශිෂ්‍යත්ව ධාරීන් ය. ඔවුන් පනලියේ සිට ආ තිලකරත්න බණ්ඩා සහ අලව්වේ සිට පැමිණි විමලසූරිය යි. ඔවුහු අපගේ විශේෂ ගෞරවයට ලක්වූහ. වීරසිංහ කටකාරයා ය. ඔහු අපේ ගමට කිට්ටු ළමයෙකි….(පිටුව 47, කටු මැට්ටෙන් එහා)
ඉන් පසු ඇය වීරසිංහගේ තවත් වැඩගැන ලියයි. අමරසිංහලා තිදෙනෙක් බවද ලියයි. ගැහැණු ළමයින්ගේ නම් සහ වතගොඩ හැඩ රුව ගැන ලියයි. මේසා විස්තරයක් මතක් කරමින් ලියද්දී හරි අපූරු පන්තියක් ගැන කියවන්නාගේ මනසෙහි චිත්තරූප මැවෙයි.
සමහර සිදුවීම් ඉතා සවිස්තරාත්මකව ඉදිරිපත් කරන හැටියෙන් කියවන්නාට ඇගේ ජීවන කතාවට එහා, සමාජීය මෙන්ම ඉතිහාස් කාරණා ද දැනගැන්මට ලැබේ.
යොමුවාකන්ද නම් පර්වතය ප්‍රාදේශීය යුව රජෙකුගේ වාසභවන වී පැවති බවද සුදු කොඩි හෝ කළු කොඩි පැටලීමක් නිසා කන්දෙන් පැන්න දේවීන් ගැන කතන්දරයක් ද බර්නාදෙත් විදුහලට ඉහළින් පිහිටි කන්ද ගැන විස්තර කරමින් දිග හරී.
- ඉතින් අපේ විදුහල්පති තුමා කීවේ ගුරුවරු ඔබලාට පාඩම් කියා දේවි, හරියට අස්සයා වතුරට ගෙනියනවා වගේ. ඔබ ඒ වතුර බීවේ නැත්නම් මොකද වෙන්නේ ? අර පේන් රේල්පාර මැද යන්න එපා කියලා අපියි මව් පියොයි කියනවා. ඒක අහලා පිළි පදින එක කාගේ වැඩක් ද ? මේ ආකාරයට තමාට පිහිට තමාමය යන්න අපේ ඔලුවේ ගලේ කෙටුවා සේ තැන්පත් කළේය. - ( පිටු 46, කටු මැට්ටෙන් එහා)
ලංකා සමාජයේ විවිධ කාලයන්හි තිබූ ඇති වූ නැතිවූ නොයෙක් ආකාරයේ සංස්කෘතිකාංග සහ සමාජ ක්‍රම මේ පොතේ තැනින් තැන හමුවේ. ඒවා කතුවරිය විස්තර කරන්නේ බොහෝ සවිස්තරාත්මකවය.
හුලවාලි හෙවත් රොඩී කුලයේ මිනිසුන් ගෙයින් ගෙට සිඟමනේ යන හැටි ඔවුන්ගේ දිවි පැවැත්ම ගැන අනෙක් කුලවල මිනිසුන්ගේ තිබෙන ආකල්ප සහ නව දැනුම එක්ක වෙනස් වෙන සමාජ ආකල්ප ඇය උපුටා පෙන්වන්නේ තම මවගේ පියාගේ දෙබසකිනි.
–සැලඩොලුන් මන්තර ගුරුකම් කර කාන්තාවන්ට වශී බන්ධන කරන බව ඉතා ප්‍රභලව ගම්මු විශ්වාස කළහ. ඉතින් අම්මා දිග උණ ලීයක් ගෙනැවිත් සර්පයෙක් ඈතට විසි කරනවා මෙන් අර උඩැක්කිය ඈතට විසි කළේ රකුසු මූණක් මවාගෙන , “තව අඩු රොඩී උඩැක්කියක් විතරයි” පුපුර පුපුරා කියමිනි. (පිටුව 66)
පාසැල් වියෙන් පසු ගුරු දිවිය වෙත ඇයගේ ආගමන මේ පොතේ සවිස්තරාත්මකව පැහැදිලි කරන්නේ ජීවිතය පිළිබඳව බොහෝ පාඩම් සහ මිනිසුන් මේ වගේ යැයි පෙන්වා දෙමිනි. එකල ලංකාවේ ගුරු විදුහල් පරිශ්‍රය ගැන හොඳ වැටහීමක් ලබා ගන්නට මේ පොත කදිම පිටිවහලකි. වසර හතලිහක් පුරා දරුවන් දහස් ගණනකට ගුරුහරුකම් දුන් මග පෙන්වූ ගුරුවරියකගේ ජීවන දහම මේ පොතේ ඇය ඉතා සරලව, සවිස්තරාත්මකව ලේඛනගත කර ඇත. තමන් මුහුණ දෙන රෝගාබාද තත්ත්වයන් පිළිබඳව වුවද ඇය සටහන් කරන්නේ මේ පොත කියවන යම් අයෙක් වෙත හෝ මේ විස්තර වලින් පිහිටක් ලැබෙනු ඇතැයි කියමිනි. ඕස්ට්‍රේලියා ගමන ගැන ඇය ලියා ඇති විස්තර පොතේ අග භාගයේ හමුවේ.
දරුවන්ගේ අධ්‍යාපනය ගැන මේ වන විට මාධ්‍ය ඔස්සේද සමාජ කතාබහක් නිරන්තරයෙන් ඇතිවේ. ඇය මේ ගැන විටින් විට සවිස්තරාත්මකව ලියන්නේ ක්‍රමයේ ඇති විශිෂ්ට බව මෙන්ම අඩු ලුහුඬුකම් ද අපක්ෂපාතීව විස්තර කරමිනි.
-සෑම දරුවෙකුට ම අධ්‍යාපනය ලැබීමේ සම අයිතිය තිබේද ? අද වන විට අධ්‍යාපනය විකුණාගෙන යැපෙන්නෝ බොහෝ ය. අපේ දරුවන්ගේ අනාගතය කෙබඳු වේ ද ? (පිටුව 379)
මේ පොත හදිසියේ එක දිගට කියවා නිම කළ නොහැකි. විටින් විට බොහොම නිවී සැනසිල්ලේ කියවිය යුතු පොතක් ලෙස මට දැනුනු නිසාම මා පොත කියෙව්වේ ඉතා හෙමින් ය. අධ්‍යාපනය ක්ෂේත්‍රය ගැන හදාරන්නට කදිම බව පිටු පෙරලන විට හැඟේ.
පොත කියවා නිම කරන්න ලැබුනේ අද ය. මේ සටහන පමා නොකර එකතු කරන්නේ මේ පොත ගැන ලියන්නට මා දැනටමත් බොහෝ කල් ගත කළා යැයි සිතමිනි.
බෝධිනී සමරතුංග
For Eastern Notes. පෙරදිග සටහන් වෙනුවෙනි.