“කඳුළු බොරුකාරයි
ඇස් තටු අගට බාරයි
හිත් හරි විකාරයි
නොලද ප්‍රේමය අලංකාරයි”
-ඇත්තෙන්ම ඇත්තයි
මටත් හිතුනේම එහෙමයි-
නොලද ප්‍රේමය අලංකාර බව ඇත්තකි.
කාර්යබහුල කාලයක් තුළදී හිරුසඳු තරුමුතු මද්දුම ආරච්චිගේ අතින් ලියවුනු කතාන්දරය එක හුස්මට කියවීමි.
තිලක්ෂණ නම් වෙද සිසුවකු ගේ අත්දැකීම් ස්වයං කථනයක් ලෙසින් ලියැවී ඇති මෙහි සිදුවීම් ඉතාම විශ්වාසවන්තව ගොඩනැගී ඇත. වෙද සිසුවකු ලෙස තමා ලත් අත්දැකීම් මෙන්ම තමා ඇසු දුටු දේ අනුව එම කොටස ඉතාම සාර්ථකව අදාළ මෙන්ම ආවේණික වචන හසුරවමින් සිද්ධි ගොඩ නැගීමට ඒවා විස්තර කිරීමට තරුට හැකිවීම පිළිබඳ මම පුදුම නොවෙමි. එය එසේ නොවූවානම් ඒ ඇයි දැයි සිතමි.
නමුත් වැල්ලවත්ත ප්‍රදේශයේ අන්ත දුක්ඛිත දූෂිත පරිසරයක සිදුවීම් ඉතාම විශ්වාසනීයව ඒ හා සම්බන්ධ වටපිටාව සමගින් මෙන්ම එම ප්‍රදේශයට ආවේණික කතා බහ මෙන්ම වචන ගලපමින් කතාව ගොඩනගා ඇති ආකාරය පිළිබඳ පුදුමවෙමි. ඒ එම උත්සාහය සාර්ථක වී ඇති නිසාවෙනි.
අතීත ස්මරණයක් ලෙසින් වර්ථමානයේ සිට ලියවුණු මෙහි කතා විලාසය මෙය දිගින් දිගට කියවා ඊළඟට කුමක්වීදැයි සීතීමට පොළඹවන සුළුය.
අම්මෙක් තාත්තෙක් නැති හෙටක් නැති මොරටුවේ පිහිටි දයා සෙවනේ සිට කළුබෝවිලට එන තාත්තලා නැති ළමා අම්මලා නිතර දැක ඇත. කතාව කියවාගෙන යද්දී මට ඔවුන් සිහිවිය.
ඔවුන් බිහිවන්නේ උමාදේවි වැනි චරිත අතුරිනි. ඔවුන් නොලද ප්‍රේමය නිසා අතරමංවී වල්මත් වී ඇත.
තිලක්ෂණ වැරදිදැයි මම නොදනිමි. ඔහු නිවැරදියැයිද නොකියමි. උමා යනු කිසි කලෙක කිසි දිනක ආදරය නොලද කොහෙන් හෝ එය සොයන පීඩිත පංතියේ අහිංසක යුවතියකි. උමා වැනි දැරියන් එවැනි වත්තක බහුල ව හමුවේ.
ප්‍රේමය වනාහි අමුතුම දෙයකි. එය උපදින තැන ,වෙලාව හෝ හේතුව සමහර විට කිසිවකුට සිතාගත නොහැක. ඒ එහි හැටිය. එය නොලැබෙන කල තවත් අලංකාරය. එපමණක් නොව රිදෙන සුළුය.
මෑතකදී ලියවුණු
දන්නවද ප්‍රේමයේ නීතිය
රිදුන තරමට දැනෙනවා
දැනුන තරමට රිදෙනවා
වචනද මට සිහියට නැගුනි
කලෙකට ඉහත ගෙන්දම් පොළවේ විවිධ නමින් හැඳින්වෙන වතු නොවූ “වතු” වල අඩු වියදම් නවාතැන් පලවල රැඳමින් කොළඹ වෙද විදුහලෙන් ඉගෙනගත් සමහරුන්, තමා හිතාමතාම අතරමග දී මග හැරි හෝ කරන්නට කිසිවක් නොමැතිව මගහැරි තම බෝඩිමේ කෙල්ල පසුකලෙක හමුවීමෙන් තිලක්ෂණ සේ අවුල් වී ඇත්දැයි අපි නොදනිමු. ඒ ඔවුන් එය නොකියන, සඟවන නිසාය. ඇත්තටම කියමි නොලද ප්‍රේමය අලංකාරය. නමුත් එය වේදනාකාරී බව අමතක කළ නොහැක.
වෙද සිසුවෙකුව සිටියදීම පිය උරුමයෙන් ලත් අභාෂයෙන් ලද පන්නරයෙන් සිය දෙවන නවකතාව ලෙසින් ‘නොලද ප්‍රේමය අලංකාරයි’ ලියා සරසවි පොතක් ලෙසින් එළි දැක්වූ ඔබට සුබ පතමි.
එයට එළිදැක්වීමේ උළෙලක් නොපවත්වනුයේ එයට වඩා වැදගත් කාර්යයකට කාලය වැය කරන හෙයින් බව ඔබ සඳහන් කර ඇත. ඒ ලෙසින් සිතන සීමාවාසික වෛද්‍යවරයෙක් අප ඒකකයේ සේවය කිරීම ගැන අතිශයින් අඩම්බරවෙමි. ඉදිරි කලා කටයුතු මෙන්ම වෘත්තීමය කටයුතු සාර්ථක වේවායි පතමි.
මනෝරි ගමගේ
(නොලද ප්‍රේමය අලංකාරයි නවකතාව
කතෘ – හිරු සඳු තරු මුතු මද්දුම ආරච්චි
ප්‍රකාශනය – සරසවි ප්‍රකාශන)
හිරු සදු තරු මුතු ඒක නම් මාරම නමක්…