වැඩ කටයුතු අතරතුර මා අතට පත්වූ අලුත්ම නවකතාවක් කියවීමි. ඒ ජැස්මින් ය. එය ‘දෑසමන් මලක සුවඳ’ නමින් උපනාමයක්ද සහිතව පසුගියදා ගොඩගේ ප්‍රකාශනයක් ලෙස එළිදැක්වූ යොවුන් නවකතා ගණයට එක්කළ හැකි නවකතාවකි.
එහි රචකයා දැනට පද්‍ය ග්‍රන්ථ කිහිපයක් හා කෙටි කතා එකතුවක් රචනා කර පළකර ඇති මහා බ්‍රිතාන්‍යයේ සේවයේ නියුතු නමින් ශ්‍යාම කුමාර මුණසිංහ නම් වෛද්‍ය වරයාය.
දුෂ්කර සමයක දුෂ්කර ප්‍රදේශයක දූ දරුවන් කැලකට හෙටක් දකින්නට උපකාරී වන කලණ නම් වෙද සිසුවෙකු වටා ගෙතී ඇත මෙම කෘතිය කියවන අතර තුර, පසුගිය සමයෙහි ඉතා ඉහළ ප්‍රතිචාර සහිතව ආසියාතික කලාපයේ ප්‍රචලිත වූ විනෝද් චොප්රා නිර්මාණය කළ 12th Fail ඉන්දියානු චිත්‍රපටිය සිහියට නැගුණි. එහි නිරන්තරව restart යැයි කියද්දී ‘ජැස්මින්’ හි නිරතුරුව ‘අපිට පුළුවන්’යැයි ළමුන් මුවින් කියවීම එයට හේතූ වන්නට ඇතැයි මම සිතමි. එසේ වුවද මෙම කතා අකෘති දෙකෙහි වෙනත් සමාන කමක් ලෙස දැක්විය හැකි එකම කරුණ නම් “උගතමනා ශිල්පය මතු රකිනා” බව පමණි යැයි සිතමි. එම නිසා මා කියනා මෙම කතාවේ වැරදි නිවැරදි බව වටහා ගැනීමට නම් ‘ජැස්මින්’ කියවීමට යැයි ඔබ සැමට ආරාධනා කරමි.
මෙම කෘතියේ මා අත්දැකි හා මා රසවිඳි ප්‍රධානතම කරුණු දෙකක් සඳහන් කළ යුතුමය.
ඉන් මුල් කරුණ නම් අවස්ථා සහ සිද්ධි නිරූපණය කර ඇති ආකාරයයි. එය ඉතා මනාව විශ්වාසනීයව ඉදිරිපත් කර ඇත. අද ද ඉඳහිට ගමක දැකිය හැකි ගම්මඩුවක් එහි කප් සිටුවීමේ සිට අයිලය පැඳ ගොරකා ගස් බිඳ එම ගම්මඩු යාගය අවසන් වන තෙක් සියලු විස්තර ඉතාම සිත්ගන්නා සුළු ලෙස කතාවේ ඇති ප්‍රධාන කතා පුවතට හානි නොවන ලෙස ඔහු ඉදිරිපත් කර ඇත. එය පොත් පත්පරිශීලනය කර කියවා ලබාගත් දැනුමකින් පමණක් නොව තමා සජීවීව ලබාගත් අත්දැකීම් සහිතව ගොඩ නැගූ විස්තරයක් බව සිතීමට, ඇති තරම් කරුණු පෙන්වා දිය හැකියැයි මම සඳහන් කරමි.
එපමණක් නොව ඉඳහිට අප රූපවාහිනිය තුළින් දැක ඇති, තුවාළ වූ වන අලියෙකු ට බෙහෙත් කරනා ආකාරය හා ඒ අවට ඇතිවන විවිධ සිදුවීම් ප්‍රධාන කතාවට හානී නොවන ලෙසින් ඉතා රසවත්ව ඉදිරිපත් කර ඇති ආකාරයද සිත් ඇඳගන්නා සුළුය.
මෙවැනි අත්දැකීමක් ඇසූ හෝ කියවූ පමණින් මෙතරම් තාත්විකව රචනා කිරීම ලෙහෙසි කටයුත්තක් නොවේ. මා එසේ පවසනුයේ එම සිදුවීම් ඉතාම රසවත්ව විශ්වාසනීයව ලියවී ඇති නිසාමය.
පොත පත ඉගෙනුම නොව කුසගිනි නිවාගැනීම හා ජීවත්වීම ම අභියෝගයක් වූ දරු පරපුරකට මානා පඳුරින් වටවූ බිමක විස අන්දර කටු පමණක් නොව නයි පොළොං මෙන්ම වන අලි තර්ජන මැද නොබියව හිඳ, දුකම පමණක් වළඳනා අහිංසක දරුපැටවුන් හට හෙට දිනට මංපෙත් එළි පෙහෙළි කරනා ගුරුමව්පිය වරුනට උපහාරයක් සේ පුද දී ඇති මෙම කෘතිය පාසල් පුස්තකාලයක තිබිය යුතුම පොතක් සේ මම සලකමි. ඒ ඇයි දැයි විස්තරාත්මකව නොකියමි. එනිසාම මා නිවැරදි දැයි බැලීමට ‘ජැස්මින්’ කියවීමට ආරාධනා කරමි.
මෙම කෘතිය පුරාවටම මා අත්විඳි අනෙක් විශේෂිතම කාරණය නම් එහි ඇති පරිසර වර්ණනායැයි කීම අතිශයෝක්තියක් නොවේ. ඔහු කළණ නම් වෙද සිසුවා විසින් දකිනා අත්විඳිනා අත්දැකීම් මෙන්ම දසුන් ලෙස විවිධ පරිසර තත්ව විස්තර කර ඇත. එවායේ ඇති විස්තරාත්මක බව නිසාම එවැනි අවස්ථා කියවාගෙන යනවිට අප මනස තුළ එම පරිසරය මනාව මවා ගතහැකි බව නිසැකම සහතික කරමි.
එක් අවස්ථාවක ගම්මඩුබිමත්, ආරච්විරාලගේ නිවසත් අප සිත් තුළ චිත්‍රයක් සේ ඇඳීමට ඔහු සමත් වෙයි. තවත් අවස්ථාවකදී අවට ඇති ඝණ කැලය මෙන්ම වැවත් ඒ අවට ඇති පරිසරයත් අපට මවා පෙන්වයි. එසේම හිරු බැසයන මෙහොතක වැවත් කොළඹ ගාළුමුවදොර මුහුදත් කලණගේ සිතුවිලි හරහා ඔහු සන්සන්දනය කරවයි. එය කියවන විට අපටද එය සිතින් මවා ගනිමින් සන්සන්දනය කිරීමට නිතැතින්ම සිතේ.
තවත් විටක ඔහු වනය තුළ ඇති දිරා ගිය ලී කොටයක් යට ඇති ජෛව විවධත්වය කලණගේ සිතුවිලි හරහා විස්තර කරනුයේ එවන් අත්දැකීමක් කවදා හෝ විඳ ඇති පුද්ගලයෙකුට එය යළිත් සිහි කැඳවෙන ලෙසිනි. එය එතරම්ම සවිස්තරාත්මකය.
දුෂ්කර පළාත්වලදී ශ්‍රම සූරාකෑමට ලක්ව දුගීකමේ විෂම චක්‍රයට හසුව ළමා වියේදීම ජීවිතයේ සියළු රැවටීම් සූරාකෑම් වලට ලක්ව තරුණ විය සුන්දරව විඳගන්නට නොහැකිව විඳවමින් එම ගම් බිම් තුළම පරව යන දරුවන්නට උගත්කමේ වටිනාකම කියන්නට හා ඔවුනට ධනාමක්ම සිතන්නට, මෙම රචකයා කළණ හා දරුවන් අතර ගොඩ නගන විවිධ දෙබස් කණ්ඩ හරහා සාර්ථක උත්සාහයක් දරා ඇත. ඒ අතර තුර සුනේත්‍රා නම් තරූණියක් වටා ප්‍රේමය තැවරූ තවත් අතුරු කතාවක් ද ගොඩ නගා ඉදිරිපත් කිරීමට ඔහු සමත් වෙයි.ඒ අතුරු කතාවේ තැනින් තැන මුණ ගැහෙනා දෑසමන් මල් සුවඳ මෙම කතාවේ නමට හේතු පාඨක වී ඇති බව මට සිතුණි.
මෙම කෘතියට පෙරවදනක් සපයා ඇති මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර මහතා ද මෙම පරිසර වර්ණනා මෙන්ම කෘතිය පුරාම දැකිය හැකි කරුණා රසය පිළිබඳව ඉතාම සුබවාදීව සඳහන් කර ඇත. එසේම පසුවදනක් සැපයු මහින්ද ප්‍රසාද් මස්ඉඹුල මහතා , ලංකාවේ කටුක, අවවරප්‍රසාදිත මිනිසුන් ජීවත්වන පළාතක ජනජීවිතය, ඔවුන්ගේ ජීවනෝපායන්, සතුට සෙවීමට දරන තැත, මතු නොව විශේෂයෙන්ම ඊළඟ පරපුරක ඉරණම, අධ්‍යාපනය විෂයෙහි තබන පරම විශ්වාසය තේමාව කොට ගත් මෙම කෘතියේ
‘කටුකත්වය තුළ සැඟව ඇති ජීවිත ශක්‍යතාව’ මනාව පෙන්නම් කරන බව සඳහන් කර ඇත.
ගොඩගේ ප්‍රකාශනයක් ලෙස අප අතට පත්වන ජැස්මින් – දෑ සමන් මලක සුවඳ කෘතිය ඔබත් කියවා රසවිඳිය යුතුම කෘතියක් බව සඳහන් කරමි.
සංයුත්ත නිකායේ වස්සික සූත්‍රයේ මෙසේ සටහන් කර ඇත. ‘මල් සුවඳ අතර දෑසමන් මල් සවඳ අග්‍රය.’
එහෙයින් ‘ජැස්මින් – දෑසමන් මලක සුවඳ’කෘතියද නුදුරු අනාගතයේදී පාඨක මනස් තුළ අග්‍රම තැනක රැඳෙනු ඇතැයි සිතමි.
එසේම තවත් මෙවන් නිර්මාණ කාර්යයෙහි යෙදීමට ශක්තිය හා වාසනාව ලැබේවායැයි අවසාන වශයෙන් ප්‍රර්ථනා කරමි.
මනෝරි ගමගේ
04.04.24