හයිය !

හදිසියේ පදික මාරුවෙන් පාර මාරු වෙන්නට ගිය මට නැවතෙන්නට සිදුවිණි. ඒ 

“අක්කා !” කියමින් මගේ අතේ  තරුණියක් එල්ලුණු නිසා ය. තරුණිය ගැන මට නිනව්වක් නැත.

“ඔයාගේ හිනාවෙන් මම අඳුන ගත්තේ…ඔයා අපිට පොඩි කාලේ ඉගැන්නුවා. මම ලෝ කරනවා දැන් දෙවෙනි වසරේ”

එවිට මට ඇය සහ ඇගේ මලණුවන් මතක් විය. 

අතිශය දුෂ්කර නාගරික පරිසරයක බොහෝ හානිදායක රකුසන් සැරි සරන ගෙන්දගම් නගරයේ ලෑලි ගෙවල් පුරවරයක සිටි පැංචන් පැංචියන් මගේ මතකය හාරා සොයාගතිමි. එකම වයසේ සිටි අසල්වාසී යහළුවන් මත්කුඩු රකුසා ඩැහැගත් හැටි ඔවුන් වැහැරෙන හැටි උසස්පෙළ පන්තියේ ඉගෙනුම ලබන කාලයේ දුටුවෙමි. 

මේ විපතින් මේ දරුවන් ගලවා ගන්නේ කෙසේදැයි ලතවෙමින් කාලයක් ගෙවමින් හිඳ ඔවුන් වෙනුවෙන් දහම් පාසැලේ කලා කටයුතු ආරම්භ කෙරුවෙමු.

කථික විවාද තරඟ සාහිත්‍ය තරඟ සඳහා ඔවුන්ගේ උනන්දුව ඇති කෙරුවෙමු. කෙතරම් බාදක තිබුනත් ඒ සියල්ල චිත්ත ධෛර්‍යයයට පරාජය වන පසක් කෙරුවෙමු.

මත්ද්‍රව්‍ය ඒකාධිකාරිය බෙහෙවින් පැතිර තිබෙන්නේ මුඩුක්කු ආශ්‍රිත දුෂ්කර මෙන්ම ජන ඝණත්වය වැඩි මෙවැනි ප්‍රදේශවල ය. ආගමික නායකයින් පණ පෙවිය යුත්තේ සමාජය වනසනාසුළු මෙවැනි අහිතකර ව්‍යාපාර මැඩලීමටය.

අද මා එකී සමාජයේම වසර විස්සක් පරිණතව සිටින්නෙමි. මත් ද්‍රව්‍ය උවදුර එදාටත් වඩා අද පැතිර තම ආධිපත්‍යය පතුරවමින් තිබේ.

“අනේ පුතේ අපි ඇවිද එනකොට පාරේ කුඩු ගහලා වැටිලා හිටියා කොල්ලෝ කීප දෙනෙක්” තම නිවෙස ආශ්‍රිත පරිසරයේ මතට ඇති නැඹුරුව මා හමුවේ තැබුවේ මිතුරියකගේ මව ය.

“ජීවිතේ කියන්නේ මේ විඳීමට නෙමෙයි පුතා.” මට වඩා වසර 6ක් බාල ඒ තරුණයා සායනය වෙත ගෙනැවිත් තිබුනේ ඔහුගේම පියා ය. ඒ දරුණු මත්ද්‍රව්‍යයකට ඇබ්බැහි වී තම ඉගෙනුම කඩාකප්පල් කරගෙන සිටි අතර මව පියා හට කරදර කරමින් මුදල් ඉල්ලා කලබගෑනි කරන්නට ගත් විටය. ඔහු පළමුවන වතාවට එවන් ආන්තරායක මත්ද්‍ර්‍යව්‍යයක් භාවිතා කර තිබුණේ තම යහළුවෙක් සමගිනි. තවත් තරුණියක් අපට මුණ ගැසුනේ සිය පෙම්වතා නිසා මෙයට ඇබ්බැහි වූ නිසාය. පුනුරුත්ථාපන කඳවුරු මගින් මෙවැනි පුද්ගලයින්ගේ ඇබ්බැහිය වලක්වාගැනීමට මහඟු උපකාරයක් සිදු කරනු ලබති. ඇවිදින ඇට සැකිල්ලක් මෙන් බඩ පිට පොත්තට ඇලී තිබුණි. එවන් වූ දිරාපත් වීම් මත් උවදුරට ගොදුරු වූවන් කෙරෙන් පෙනී යන ලක්ෂණයකි.

මිනිස් සිරුර තුළ සන්නිවේදනය සිදු වන්නේ නොයෙක් රසායන ද්‍රව්‍ය මගිනි. එවැනි රසායන ද්‍රව්‍ය වලින් සැදුම් ලත් මොළයේ සන්නිවේදන පද්ධතිය වෙත බලපෑම් කරන අතර එමගින් මොළයේ ස්නායු සෛල අතර තොරතුරු හුවමාරු කිරීම සහ ශරීරය සහ මනස අතර ක්‍රියාකාරිත්වය වෙනස් කිරීමට ලක් වේ. මේ අසාමාන්‍ය රසායනික ක්‍රියා “විඳීමක්”ලෙස ඇබබැහිවන සුළුය. අපේ ශරීරයේ සාමාන්‍ය ප්‍රතිග්‍රාහක ක්‍රියා අනුකරණය කිරීම හෝ වැඩි වර්ධනය කරමින් ඉන්ද්‍රිය, අවයව කෙරෙහි අහිතකර ලෙස බලපෑම් ඇති කරයි.

 තත්‍ය ලෝකයේ ජීවන ආතතිය හා කාල සටන සමග දෙමාපියන්ට දරුවන් මග හැරේ. අද අප සමාජයටද දරුණු ලෙස දරුවන් මග හැරෙමින් පවතී.

මේ ඇබ්බැහිවීමෙන් මුදවාගැනීම පිණිස සෞඛ්‍ය ක්ශේත්‍රය නීති අංශය , සමාජ සේවා අංශ මෙන්ම මේ පුද්ගලයින්ට ළඟ මිනිසුන්, පවුල් වල අයද විශාල කැපකිරීමක් කළ යුතුය. සියලු ක්‍රියාවන්ට මූලික වූ මනස, හානිදායක වූ ඇබ්බැහිවීම් වලින් මුදවා ගැනීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවීය. 

පාසැල් අධ්‍යාපනය තුලින් මේ හානිදායී ගැටළුව ගැන සාදනීය මැදිහත් වීමක් නොවන්නේයැයි සිතෙන්නේ උගත් නූගත් සියල්ලෝම මෙයට ගොදුරු වන නිසාය.

නවත්වන තැන්වලදී පාර පුරා බුලත් කෙළ ගසමින් ත්‍රීවීල් රථය පැද යන තරුණයා විසි වයසෙහි විය යුතුය.

“ඇයි පුතා බුලත් විට කන්නේ. තරුණ දරුවෙක්නේ”

“නිදිමත එනවා මිස්” ඔහු කියයි

“ දන්නවානේ මුඛ පිළිකාවට මුල,  බුලත් හුණු , සිගරට්”

“අනේ දැනන් හිටියේ නෑ මිස්” ඔහු පවසයි.

“අදම නවත්වන්න, තාම පොඩි වයසනේ?” මම හැකිඅයුරින් ඔහුට මෙහි ප්‍රතිවිපාක කියා දුනිමි.

“අනේ පුතේ ඕගොල්ලොන්වත් කියන්න මේ තරුණ දරුවෝ සිගරට් එකට ඇබ්බැහිවෙලා. වැඩිහිටියොත් ඒවා ප්‍රමෝට් කරන්න කතා කියනවා. ගංජා හෙරොයින් මේවාට නිකම්ම ඇදිලා යනවා. මට හරි දුකයි” මුහුණු පොත මත තම අදහස් දක්වන ලලිතා මහත්මිය නිතර ඒ ගැන ලියන්නීය. එහෙව් දරුවන් හොයාගෙන ඔවුනට ඉන් මිදී නිසි මග ගන්නට උදව් උපකාර කරන්නීය.

මත් ද්‍රව්‍යය ඇබ්බැහිය කොතෙකුත් ද යත් කල්ගත වෙත්ම ශරීරය ඔරොත්තු දෙන ප්‍රමාණය වැඩි වීම නිසා අධික මාත්‍රා ගැනීමට බොහෝවිට පෙලඹේ. මෙලෙස ගනු ලබන අධික මාත්‍රා මරණයට පවා හේතුවනු අප.ඉතා ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ ජීවිතකතා තුලින් දකින්නෙමු.මේ ඇබ්බැහි වීම තුළින් කායික ගැටළු මෙන්ම මානසික ගැටළු ද ඇතිවේ. මානසික අවපීඩනය හෙවත් විෂාධිය, කාංසාව ඇති විය හැකි අතර සියදිවි නසාගැනීමේ අවදානම මත්ද්‍රව්‍ය නිසා ඇතිවන සංකූලතාවයන්ගේ අතුරු ඵලයකි.

අතිශ්‍ය බිහිසුණු සමාජයක දරුවන් හරි හැටි හදා ගැනීම මහත් වූ යුද්ධයකි. එහෙත් අපමණ බාදක කරදර මැදින් හෝ අප දරුවන් වෙනුවෙන් ක්‍රියාත්මක විය යුතුයැයි මට සිතේ.

ජීවිතේ ජයගන්න, මිහිපිට ජීවත් වෙන්න  ඇති “හයිය” චිත්ත ධෛර්යය මිසක මත් රසායනික ද්‍රව්‍ය නොවන බව ඔවුනට වටහා දිය යුතුය.

වෛද්‍ය බෝධිනී සමරතුංග
සායනික සටහන් නොවේ.
ලේක් හවුස් රැස පුවත් පතේ පලවූ තීරු කතන්දරයකි. පිටපත් කිරීම හෝ නැවත පල කිරීම නොකළ මැනවි.

පසුවදන : බොහෝ දෙනා මත් පැන් මත්ද්‍රවය වල අබ්බැහිකාරක ගුණය ගැන සැලකිලිමත් වෙන්නේ නැත. එනිසාම ඒවායේ ඇබ්බැහියෙන් මිදෙන්නට බැරිව ජීවිත විනාශ කරගනිති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *