ළදරුවන්ගේ නින්ද

මහාචාර්‍ය ජේම්ස් ජේ මැකෙනා යනු co- sleeping හෙවත් මව සහ ළදරුවා එකම කාමරයේ නිදා ගැනීම ගැන, මව් කිරි දීම ගැන සහ SIDS (sudden infant death syndrome) හෙවත් හදිසියේ සිදුවන ළදරු මරණ ගැන පර් යේෂණ රාශියක් කළ කෙනෙක්. ඔහුගේ පැහැදිලි කිරීම් වල සංශිප්තයක් සමග නොයෙක් පර්යේෂන පත්‍රිකා උපයෝගී කරගෙන මේ සටහන මම ඔබ හැම වෙනුවෙන් සකස් කළේ කාන්තා සමූහයක ඇතිවූ වාද විවාදයක් ඇස ගැටුණු නිසා.

මේ කතා කරන්නේ අවට ලෝකය ගැන කොහෙත්ම වැටහීමක් නොමැති, කුඩාම බිළිඳුන් ගැනය. අවුරුදු 4 , 5 පසුවූ වැඩුණු දරුවන් ගැන නොවේ. එනමුත් ඔබේ දරුවාගේ වර්ධනය අනුව ඔවුන් ගැන ඔබ තීරණ ගන්න.

මේ විවිද ක්‍රම ගැන ලෝකේ හැම තැනම කතා බහ කෙරෙනවා. නමුත් පර් යේෂන සහ ක්‍රමෝපායන් මගින් විවිද කාල තුලදී හිතන් ඉන්න මතයේ හරි වැරදි සාකච්ජා කෙරෙනවා

අද වන විට ලෝකයේ බොහෝ අය (විශේෂඥ වෛද්‍යවරුන් පවා) කියන්නේ මව සහ ළදරුවා එකම කාමරයේ නිදා ගැනීම තමයි වඩාත් ම සුදුසු කියලා. හැබැයි මේ කියමන, එකම ඇඳේ වැඩිහිටියන් සහ බිළිඳුන් නිදියෑම කියා කියන්නේ නෑ. ඒක නම් අප කවුරුත් එකඟ නොවන දෙයක්. මමත් ළදරු සහ ළමා වාට්ටු වල වෛද්‍ය වෘත්තිකයෙක්ලෙස සේවය කළ අයෙක් මෙන්ම අවුරුදු තුනක කුඩා දරුවෙක්ගේ මවක්, එනිසා මේ ගැටළු ගැන වැඩිපුර සොයා බලනවා. මම අන්තර්ජාලය තුල නවීන පර්යේෂන කියවනවා, එමෙන්ම ඇතැම් දේ එහෙම වෙන්නේ හෝ කියන්නේ ඇයි කියා සොයා බලනවා. ඒවාට විද්‍යාත්මක කරුණු සහ පදනම් සොයනවා.

ඇමෙරිකාවේ දී කරන ලද බොහෝ පරීක්ෂන වලදී, ඇමරිකානුවන් තම දරුවන්ට හැකි ඉක්මනින් ස්වාධීන වීමට උගැන්වීමට උනන්දු වුවද, තනිවම දරාගැනීමට ළදරුවාට හෝ ඉතා කුඩා දරුවාට බල කිරීම ස්වාධීනත්වය පෝෂණය කිරීමේ ක්‍රමයක් නොවන බව මේ පර්යේෂන වලදී සොයාගෙන තිබෙනවා. ස්වාධීනත්වය ඇති වෙන්නේ ළදරුවාගේ අවශ්‍යතාවයන් ප්‍රමාණවත් පරිදි සපුරාලීම තුලින් එළබෙන සුරක්ෂිත බව මුසු වූ සම්බන්ධතාවයකින්. ඒ කියන්නේ දරුවාට මව/පියා සමග ඇති සබඳතාවය වැඩි දියුණු කිරීමෙන් බව මෙහිදී අවධාරණය කරනවා.

කිසිවක් කරගත නොහැකි ළදරුවකුට (සහ කුඩා දරුවකුට), නොසැලකීම හා නොසලකා හැරීම මගින් ඉතා ආවේගාත්මක පීඩනයක් සිතට ගෙන දේ. සුළු මානසික ආතතියෙන් පටන් ගෙන ඔවුන්ට දරාගත නොහැකි තරම් මානසික ආතතියක් ළදරුවන් කෙරෙහි ඇති කිරීම මොළයේ වර්ධනයට හානිකර බව මේ පර්යේෂන මගින් කියනවා.

මාස 6 කට අඩු ළදරුවන් සඳහා නිදාගැනීමේ වැඩසටහන් ක්‍රමානුකූලව සමාලෝචනය කරන ලද, සංවර්ධන හා හැසිරීම් යන අංශ රැසක පර්යේෂන පත්‍රිකා මෑතකදී ප්‍රකාශයට පත් කර තිබුනා . එම පර් යේෂන පත්‍රිකාවක සඳහන් පරිදී ළදරුවන් වෙනම නිදි කිරීමේ උපාය මාර්ගයන් මගින් එම ළදරුවන් මුල් ළමා වියේදී හෝ, පසුව ළමා කාලය තුළ තනිව හොඳින් නිදා ගැනීම හෝ,ඇඬීම අඩු වීම හෝ හැසිරීමේ ගැටළු වළක්වා ගැනීම වැනි දෑ වල වෙනසක් සිදු නොවන බව පෙන්නුම් කර ඇති බව නිගමනය කර ඇත. ළදරුවා මෙන්ම මව ද දරුණු මානසික අවපීඩනයෙන් ආරක්ෂා වීම එකට නිදාගැනීම තුලින් සිදුවෙන බවද සඳහන් වේ . සැබවින්ම, ළදරුවන්ගේ ජීවිතයේ මුල් සති හා මාසවලදී තනිව නිදාගැනීමේ දී SIDS ( sudden infant death syndrome) හෙවත් හදිසියේ සිදුවන ළදරු මරණ ඇතිවීමේ අවදානමක් ඇතිවීම, මව්කිරි දීමේ ගැටළු වැඩිවීම, මවගේ කනස්සල්ල වැඩි වීම වැනි දෑ එහිදී අනාවරණය වී ඇත.

නෝත්‍ර ඩෑම් විශ්ව විද්යාලයේ මව්-බිළිදරු චර්යාත්මක නින්ද පිළිබඳ පර්යේෂන විද්‍යාගාරයේ අධ්‍යක්ෂ මහාචාර්‍ය ජේම්ස් මැකෙනා පවසන්නේ ජීව විද්‍යාත්මකව නිවැරදි ක්‍රමය නම් මව ළදරුවා එක ළඟ නිදා ගැනීම හෙවත් co sleeping බවත් , එය කිසිසේත්ම sleep training හෙවත් නින්ද පුහුණු කිරීම නොවන බවත් ය.

තාක්ෂණික වශයෙන්, එකට නිදා ගැනීම යනු ළදරුවා හා මව්පියන් එකිනෙකාගේ සංවේදක පරාසය තුළ ඇති අවකාශයේ නිදා ගැනීම ලෙස අර්ථ දැක්වේ.

බොහෝ විට එය එකම ඇඳ බෙදා ගැනීමට අදහස් කර නැත. එලෙස එකම ඇඳ බෙදා ගැනීමේදී අවදානම් බොහෝමයක් ඇත. වර්තමානයේ මහාචාර්‍ය මැකෙනා සහ තවත් බොහෝ අය එක්සත් ජනපදය තුළ කරන ලද පර් යේෂන අනුව ළදරුවා සහ මව්පියන් එකම කාමර අවකාශයේ නමුදු වෙන් වූ මතුපිටක් ඇති හෙවත් වෙන් වූ ඇඳක, බැසිනෙට් එකක කොට් එකක නිදා ගැනීම නිවැරදි බව පවසයි. නිදසුනක් වශයෙන්, බිලිඳු දරුවෙකු , දෙමාපියන්ගේ ඇඳ උඩ වෙනම කූඩයක හෝ ඇඳ අසල කුඩා ඇඳක් තුල තැබීම ගත හැක.‍

ළදරුවන්ට එසේ මව වඩා ළඟ වීම වැදගත් වන්නේ ඇයි?

උපතෙන් පසු, ළදරුවන් සහ මව විවිද අවස්ථා වලදී භෞතිකව සම්බන්ධ වන අතර, මෙම බැඳීම තුලින් ළදරුවන් ගේ මානසික වර්ධනය වඩා හොඳ වේ. උදාහරණයක් ලෙස මව්කිරි දීම, මොළයේ වර්ධනය හා අනාගතයේ දරුවාගේ සෞඛ්‍යය සඳහා ඉතා යෝගය. මව රැය පුරා ඇහැරෙමින් කිරි දීමේදී ළදරුවා කාමරය හෝ ඇඳ අසල සිටීමෙන් එය වඩා පහසුවේ. මමද එසේ කර ඇත්තෙමි. ඇත්තෙන්ම ඇයට මාස හතර පහ පමණ වන විට ඇඳ මත තියා ඇලවී කිරි දීම මට වඩා පහසු විය. රාත්‍රියේ දැඩි මහන්සියක් නොදැනිනි. ළදරුවන්ට සිදුවන හදිසි අනතුරු සහ හදිසි ළදරු මරණ සින්ඩ්රෝම් (SIDS) මව් කිරි දීම තුලින් අඩු වෙන බව ද පසු කාලයේ දියවැඩියාව සහ වෙනත් බරපතල සෞඛ්‍ය තත්වයන් ඇති වීම අඩු වන බව ද අපි ඉගෙන ගතිමු .

මව්කිරි දීමෙන් මව්වරුන්ට පවා පසු ප්‍රසව මානසික පීඩන තත්වයන්, හෘද රෝග, දියවැඩියාව හා අධි රුධිර පීඩනය අවම කරන බව පර් යේෂකයින් පෙන්වා දේ . පියයුරු වල කිරි අඩු කැලරි (නමුත් ජීර්ණයට පහසුය). එබැවින් දරුවන් පැය දෙකකට හෝ දෙකහමාරකට පමණ පෝෂණය වේ. ළදරුවා සමීපයේ නිදා සිටින විට මවට වුවද සැහැල්ලුවෙන් නිදා ගන්නට පුළුවන් බවද ඔවුන් පෙන්වාදෙන්නේ මවගේ මනසේ ඇති අනාරක්ෂිත බව පිළිබඳ සැකය සහ ආතතිය ඉන් ඉවත් වන නිසා ය . ළදරුවා සමීපයට හෝ ආසන්නව සිටීමෙන් පහසු ප්‍රවේශයක් ද ලබා දේ. ළදරුවාට භෞතික වශයෙන් සුරක්ෂිත පරිසරයක්ද ඉන් සකස් වේ.

ළදරුවා එක දිගට නිදාගන්න එක හොඳ ද ?

ඊළඟට එක් පර්යේෂනයකදී මහාචාර්‍ය මැකෙනා පෙන්වා දෙනවා ළදරුවන් රාත්‍රී කාලයේ 13-15 වාරයක් පමණ අවදි වෙනවාය කියා. එහෙත් එයට එකම හේතුව කිරි ඕනෑ වීම නොවන බවත් දරුවන් එසේ ඇහැරෙන විට ඔක්සිජන් මට්ටම සහ හෘද ස්පන්දන වේගය ඉහළ යන අතර , එය දරුවාගේ මොළය වර්ධනය, මාංශපේෂී වර්ධනය සහ ප්‍රතිශක්තිය වැඩිවිම සහ එහි ක්රියාකාරීත්වය සඳහා ඉතා හොඳ බව ඔවුන් පෙන්වා දේ. (නොමේරූ ළදරු ඒකක වල වැඩ කර ඇති නිසා මෙය අත්දැක තිබේ ) සැහැල්ලු නින්ද අවදිවීම තුලින් ශ්වසන අපහසුතා හෝ ශ්වසනය නැවතුම් අඩු කරන අතර දිගුකාලීනව මාරාන්තික විය හැකි ආශ්වාසය නතර කිරීම වළක්වයි. එනම් හදිසි ළදරු මරණ වලක්වාලනු ඇත.

නිතර නැගිටීමට හේතුව දරුවාගේ පමණක් නොවේ.

මහාචාර්‍ය මැකෙනා, පර්යේෂන වලදී එම මව්වරුන් 40% වාරයක් පමණ ළදරුවන් ඇහැරවන බව සොයාගෙන ඇති අතර, එම කාලය තුළ ළදරුවන් 60% වාරයක් පමණ මවුවරුන් අවදි කර ඇති බවත් නිරීක්ෂනය කර ඇත. ඔවුන් සිය පරීක්ෂණාගාරයේ නිදාගෙන සිටින විට රාත්‍රියට පෙනෙන කැමරා මගින් පෙන්නුම් කර තිබුනේ මව්වරුන් බොහෝ විට මවුවරුන් සංවේදීව දරුවන්”ස්පර්ශ කිරීම, අත ගෑම , පරික්ෂා කිරීම, කනට කෙඳිරීම වැනි සෙනෙහසින් කරන ඉඟි මගින් ළදරුවන් හොඳින් දැයි බලන බවත් ඉන් බිළිඳාගේ හෘද ස්පන්දන අනුපාතය හා ඔක්සිජන් මට්ටම ඉහල නැංවෙන බවත් ය.

එහෙත් දරුවා වෙනම කාමරයක හුදකලා කරවා ළදරුවන් කෘතිමව නින්දට දමන විට, මෙම සමීප අන්තර්ක්රියාකාරිත්වය හා එහි ශාරීරික හා මානසික ප්‍රතිලාභ අහිමි වනවා පමණක් නොව, SIDS වල අවදානමද ඉහල යන බව පර් යේෂකයින් පෙන්වා දෙයි. ඒ අතරම ළදරුවා තමන් සමීපයේ නිදි කරවාගැනීම කරනා සංස්කෘතීක හුරුව ඇති රටවල සමාජ වල මේ sids සිදුවීම බොහෝ දුරට අඩුවක් හෝ නැත්තටම නැති බව ඔවුන් පෙන්වා දෙයි.

දරුවන්ට ඕනෑ තරම් හඬන්නට දීම සුදුසු ද ?

දරුවන් හැඬීම යනු වෙනස් කළ යුතු හැදිය යුතු යමක් නෙමේ. ළදරුවෙක් හඬනවා කියන්නේ ළදරුවා තුල යම් අපහසුතාවක්, යමක් හරියට නෑ කියා නිකුත් කරන කායික සංඥාවකි. ඇඬීම යනු වචන ඉගෙන ගන්නා තෙක් ඔවුන්ගේ සන්නිවේදන ක්‍රමය වේ. ඔවුන්ගේ හැඬීමට හරි ප්‍රතිචාරයක් පෙන්වා, ඔවුන්ගේ අවශ්‍යතාවය ඉටු කිරීම මගින් ළදරුවන් වටහා ගන්නවා ඔවුන්ගේ දෙමාපියන් තමන්ගේ සංඥාවට ප්‍රතිචාර දක්වන බව ,එවන් දරුවන් දිගු කාලීනව අඩුවෙන් අඬනු ඇති බවත් දැක ගන්නට ලැබේ. අනික් අතට, දරුවාගේ ඇඬීම නිරතුරු නොසලකා හරිනු ලැබුවහොත්, ඇගේ සංඥා පද්ධතිය අකාර්යක්ෂම වන බවත් එක් පත්‍රිකාවක සඳහන් වේ. එවිට ඇගේ ස්වාභාවික ඉල්ලීම් ඉටු නොවීමෙන් වඩ වඩාත් කනස්සල්ලට පත්විය හැකිය. ළදරුවෙකුගේ සාමාන්ය රීතිය වන්නේ ඔබට ළදරුවෙක් නරක් කළ නොහැකි බවයි.

ඒවගේම අප මතක තියාගන්න ඕනේ එකට නිදා ගැනීම කියන්නේ ළදරුවන් තමා සමීපයේම එකම ඇඳ මත තබා ගැනීමම නොවන බව. එය අනාරක්ෂිත වන අවස්ථාද තිබෙනවා,

• දෙමාපියන්ගේ දුම්බීම, මත්පැන් පානය සහ මත් ද්‍රව්‍ය භාවිතය අසල නිදා සිටින ළදරුවාට අනතුරුදායක විය හැකිය.

• ළදරුවා මත පෙරලී හුස්ම ගැනීමට නොහැකිව දරුවන් මිය යා හැක.

• එනිසා තමන්ගේ ඇඳ අසල වෙන්කළ වෙනම ඇති ඇඳක හෝ ලීපටි ගසා වෙන්කළ ඇඳක, කොට් එකක දරුවන් තබන්නේ නම් සුදුසු බව අවධාරනය කළ යුතුය.

• ළදරුවන්ට ඇඳෙන් ලිස්සා යා හැකි ස්ථාන, ඇඳන් හෝ මෙට්ට අතර ඇති හිඩැස් වැනි ස්ථාන සොයා බලා ඒවා අයින් කළ යුතුය.

ඉතින් දැන් ඔබලාට හිතෙනවා ඇති co sleeping හෙවත් මව සහ ළදරුවා එකම කාමරයේ නිදා ගැනීම මෙච්චර හිතකර සහ වර්ධනයට හොඳ ආකාරයෙන් බලපාන දෙයක්නම් තවමත් සමහර ළමා රෝග විශේෂඥයින් , නින්ද පුහුණු කිරීම හෝ වෙනම නිදි කිරීම කරන්න යැයි කියන්නේ ඇයි කියලා. ඒකටත් හේතු ලෙස පෙන්වා දෙන්නේ දැඩි ලෙස ආතතියට හෝ වෙහෙසට පත් වූ මව්වරුන්ට එයින් යම් තරමක සහනයක් ගෙන දෙනවා කියාය. හැබැයි ඒක ළදරුවාට කරන අගතියක් බව මහාචාර්‍ය මැකෙනා පෙන්වා දෙයි

මව සහ දරුවාගේ ජෛව විද්යාත්මක සංහිඳියාව biological harmony වර්ධනය වීමට ඉඩ නොදී තමන්ට ඕනෑ ලෙස නින්ද පුහුණුව ආරම්භ වන්නේ දෙමව්පියන් සහ ඔවුන්ගේ දරුවන් අතර ඇති මානසික සම්බන්ධතාවය පළුදු කරමින් යැයි ඔහු පෙන්වා දෙනවා . එයින් අනන්‍යතා අර්බුදයක් ඇතිවෙන්නේ නැද්ද කියන ප්‍රශ්නය පැන නගිනවා ළදරුවාට අනන්‍ය වූ හැසිරීම වෙනුවට අපට ඕනෑ ලෙස ළදරුවා වෙනස් කිරීමක් ඉන් සිදුවෙනවා යැයි ඔහු පෙන්වා දෙනවා. තවද, උත්ප්රාසාත්මක ලෙස, මවගේ නින්දේ කාර්යක්ෂමතාවය යනු ඇය කී වාරයක් නැගිට්ටේද යන්න නොව ඔවුන්ගේ සමස්ත මානසික ආතතිය බව ඔහු කියයි; නිදසුනක් වශයෙන්, මව්කිරි පමණක්ම දෙන මව්වරුන් රැයෙහි වැඩි වාරගනනක් ඇහැරුනත් ඔවුන් හොඳ ශරීර සෞඛ්‍යයකින් මානසික සමතුලිතතාවයකින් ඉන්නා බව ඔහු පෙන්වා දේ .

මම ද ගිය අවුරුද්දේ පවා සාකච්ජා කරද්දී මේ ගැන විශේෂඥ වෛද්‍යතුමිය පැවසුවේ co sleeping ළදරුවන්ට යෝග්‍ය බව දැන් පවතින මතය කියාය.

හැබැයි , මේ සටහන් බිළිඳුන් ළදරුවන් ගැනය. දරුවන් වැඩී උස් මහත් වන විට ඔවුන්ට ස්වාධීන වීමට කියා දිය යුතුය. ඒ ක්‍රියාකාරකම් සහ කතා බහ කිරීම තුලිනි. එහෙම නැතුව ඔවුන් ඔබෙන් ශාරීරිකව හෝ මානසිකව බලෙන් ඈත් කිරීමේ. නොවේ.

ඔවුන් වෙනම නිදා ගන්නේ කොයි කාලයේදැයි ඔබ දෙමාපියන් වශයෙන් තීරණය කළ යුතුය. හැබැයි ඒ සඳහා කිසිම දෙයක් නොතේරෙන කාලය සුදුසු දැයි ඔබම තීරණය කරන්න.

වෛද්‍ය බෝධිනි සමරතුංග

📷පින්තූර අන්තර්ජාලයෙනි…. ටිකක් ලොකු වෙද්දි ඔවුන් සමීපයේ නිදියෑම බීමත් බු වල්ලෙක් තමන්ගේ නැතිවුණා කාර් යතුර හොයනවා වගෙයි ලු..

උපකාර කරගත් ලිපි සහ පර් යේෂන

http://cosleeping.nd.edu/safe-co-sleeping-guidelines/

https://www.ncbi.nlm.nih.gov/pubmed/24042081

http://www.mothering.com/…/cosleeping-and…/

http://www.developmentalscience.com/…/safe-cosleeping…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *