උතුරේ රෝහලේ මා වැඩ කළ ප්‍රසව හා නාරිවේද ඒකකය තිබුනේ ප්‍රධාන බිල්ඩිමේ පිටිපස්සෙම කොටසේ. ඉතින් මම බයිසිකලයෙන්ම ඒ කොනටම ගිහින් පහළ කොරිඩෝවේ හෝ හෙවනක නවත්වා ලොක් එක එහෙම දාලා වාට්ටුවට යන්න උඩට නගින්නේ. එක දවසක් ඔහොම ගිහින් ආයේ පහළට ආවම බයිසිකලය නවත්වා ගිය තැන පේන්න නෑ. ඒ එක්කම මට පේනව ට්‍රැක්ටරයක් එතැන ඉඳන් ගේට්ටුව දිහාට යනවා.මට ටක් ගාලා හිතුනේ ලොක් කරපු බයිසිකලේ දාගෙන යනවා ඇති කියලා. සමාජය විසින් හිමි කර තිබුණු දුෂ්ට සිතිවිලි ඉතින්. හැමෝම හොරුය කියා හිතන් හිටියට ඒක එහෙම නොවේ.
මම ඉතින් කෑ ගහනවා දෙමළෙන්….මගේ බයිසිකලේ මගේ බහිසිකලේ කියලා. ට්‍රැක්ටරේ කට්ටිය ට්‍රැක්ටරේ නවත්තන් හිනා වෙනවා.
ඒකේ මිනිස්සු දෙන්නා හිනා වෙවී කීවා. “නෑ ඔයා බයිසිකලයක් නෙමේ ” කියලා.
හදිසියට ට්‍රැක්ටරේ පස්සෙන් දුව දුවා දෙමළෙන් කෑ ගහලා තිබුනේ… “මගේ ” වෙනුවට.. “මම බයිසිකලයක්” හෝව් හෝව් “මම බයිසිකලයක්” කියලා…
මං හිතන්නේ රෝහලක් නිසා එයාලා හිතන්න ඇති මොකක් හරි මානසික ආබාධයක් සහිත කෙනෙක් කියලා… ඊට පස්සෙ ඉතින් ඒ ට්‍රැක්ටරේ නවත්වනකොටම දුවලා ගිහින් බැලුවා ඇතුල. වැලි වගයක් බාලා යන එකක්.
අපොයි ඉතින් ඒකේ බැලුවත් බයික් එක තිබුනේ නෑ. ගියදේ ගියාවේ කියලා බොහොම දුකෙන් මම එනකොට ඕවර්සියර් ඉන්නවා හිනා වෙවී එතන.
“ඩොක්ටර්ගේද බයිසිකලේ. අපි ඒක මෙතන ස්ටෝරු කාමරෙන් තිබ්බා. මේ හරිය පේන්ට් කරා . තීන්ත වදී කියලා. ඩොක්ටර් මම බයිසිකලේ කියලා කෑ ගහද්දී ඇවිත් බැලුවේ. අයියෝ සොරි ” කියලා ඔහු කියමින් බයිසිකලය ගෙනැවිත් දුන්නා. කවදාවත් ඉන් පස්සෙ නැති වුනේ නම් නෑ.
බයිසිකල් පැදීම ගැන මට ලොකු කතාවක් තියෙනවා. මං උතුරට ගිහින් ගත්තු ප්‍රථම සහ එකම වාහනය බයිසිකලයක් !මේක ගත්තේ 2011 දී මේ කතා මං අනිත්කොන පොතෙත් ලීවා. ඉතින් ආයේ ඔන්න මුහුණු පොතෙත් ලියනවා. 2010 දිත් ගන්න ට්‍රයි කරත් මැරෙන්නැතුව ඉන්න කියලා කීප දෙනෙක් දෝෂාරෝපණය කළ නිසා ඒක කරන්න බැරි වුණා.
මම උතුරු කොන පැමිණි පසු ගෙදර තිබෙන බයිසිකලය එහි ගෙනෙන්නට හැදුවෙමි. ඔව් මම කුඩා කල සිටම එක එක ජාතියේ බයිසිකල් කිහිපයක සාඩම්බර අයිතිකාරයෙක් වීමි. මම වැඩෙනවාත් සමගම බයිසිකලයේ ප්‍රමාණයත් වැඩි විය. ඒත් ප්‍රවාහන අවහිරතා නිසා දිනෙන් දින දැනට මා ගෙදරදී පාවිච්චි කරන්න අම්මා අරගෙන දූන්නු බයිසිකලය මෙහි ගෙන එන එක කල් ගියාය.
එක පාරක් ඒ අදහස කියන්න ගිහින් කිහිප දෙනෙක්ගෙන් බැනුම් අහගත්තා. “අපෝ දොස්තර නේද ? තත්වේ තියාගන්න දන්නැද්ද ? “කියලා
හැබැයි කිලිනොච්චියෙදී මට හමුවෙනවා අපූරු, පොළවේ පය ගහලා ඉන්න, ස්ටේටස් මේන්ටේන් කරන්නේ නැති යහළුවෙක්. Timur Rahaman, එයාටත් තිබුනේ බයිසිකලයක්. ඉතින් රහමාන් එක්ක, මමයි, ෆර්හානායි ගිහින් ටවුමේ කඩ කීපයකම ඇවිදලා ලේඩීස් බයිසිකලයක් ගත්ත දවසේ තමා මේ ෆොටෝ එකත් ගත්තේ.
අනෙක් හැමෝම කාර් ගන්න හීන මවද්දී මගේ සිහිනය වුනේ බයිසිකලයක් ගැනීමයි. ඒ එය පරිසරයට හිතකාමී එකම වාහනය වන නිසා. පරිසරයට හානි නොකර ජීවත්වෙන්න පොඩි කාලේ ඉඳන්ම පුරුදු වී ඇති නිසා දුම් දමන ඛණිජ තෙල් බොන වාහන වලට කොහෙත්ම ආසා නැත. එමෙන්ම එය සෞඛ්‍යයටද හිත කරය. මා බයිසිකලයක් පදින බව දැනගත් ඇතැම් පොෂ් යැයි කියා ගන්නා මිතුරෝ “අපොයි ලැජ්ජා නැද්ද ඩොක්ටර් කෙනෙක් වෙලා බයිසිකල් පදින්න” යැයි කීවෝය.
“ඉතින් මම තමයි එහෙනම් ගන්නම ඕනේ. මෙච්චර ඉගෙන ගෙන කාර් එකක් පදිනවානම් මගේ ඉගෙනීමෙන් ඇති වැඩේ මොකක්ද ? මම ආඩම්බර වෙනවා මම ඩොක්ටර් කෙනෙක් වෙලා බයිසිකලයක් ගත්තු එක ගැන. අනික මම ඉගෙන ගත්තු කෙනෙක්. බුද්ධිමත් අය දන්නවා පරිසරයේ වටිනාකම ”
මගේ උත්තරයෙන් සියල්ලෝම කටවල් පියා ගත්තෝය. මැරෙන්න යනවා නම් අපිට මොකෝ කියලත් කී අය හිටියා. මම විතරක් නොවේ, තව බොහෝ වෛද්‍යවරුද පෙර කල සිටි ශල්‍ය වෛද්‍ය විශේෂඥතුමා වැනි විශේෂඥ වෛද්‍යවරු පවා බයිසිකලයෙන් රෝහලට පැමිණේ.අපි කුඩා කල සිටම පරිසරයට ආදරය කිරීමට පුරුදු වූ අය වන්නෙමු. මිහි මඬලේ දරුවෝ කථාවෙන් ඒ බව මගේ මුල් කථාවලදී කියා ඇත්තෙමි.
එවන් දෙයක් වටහා ගත නොහැකි උන් කියන දේ අසා මම නිහඬව සිනහ නගා සිටියෙමි. ඒ මෝඩයින් දාහක් සමග තර්ක කර දිනිය නොහැකි බැවිනි.
“ලයිසන් අරන් බයිසිකල් පදිනවා” ඔන්න ඔහොම අහගත්තා මොකද මගේ රුමා වෙච්චි අනෙක් වෛද්‍යවරිය ගේ උනන්දුව නිසාම මමත් වාහන එළවන්න ලයිසන් ගත්තේ උතුරෙදි… ඒත් ඉතින් අර කිව්වා වගේ ලෑයිසන් ගත්තට වාහනයක් කියලා ගත්තේ බහිසිකල ය තමා.
ඉතින් ඔන්න ඔහොම මම බයිසිකලයක් පැද්දත් බොහෝ වෙලාවට A9 ප්‍රධාන මාර්ගයේ ධාවනය කරන විටනම් බාධා එමටයි. බොහෝ විට කරන්නේ අතුරු පාරවල ගමන් කර අදාල ස්ථානයට යන එකයි. එහෙම නැත්නම් මාර්ගයෙන් එපිට කැලෑ පාරේ ගමන් කරන එකයි. මොකද A9 එකේ බයිසිකලයෙන් ගියානම් එහෙම A9 එකේ යන ටිපර් සංඛ්‍යාවයි බස් රොත්තයි , බස් තරඟයයි නිසා අපේ රෝහලට තව දොස්තර කෙනෙක් අඩු වෙන එකයි වෙන්නේ. දොස්තරලා අඩු ඒ දවස් වල එහෙම දෙයක් උනොත් කොහොමත් අමාරුවේ වැටෙන්නේ රෝහල නිසා. සියල්ලන්ගේම ආයාචනයෙන් මම හැකිතාක් දුරට A9 වලින් මිදී සිටියා.
අපේ රටේ දේශපාලකයින් රට රටවල සංචාරය කරනවා යැයි මම සිතමි. එහෙත් ඔවුන් අනිත්කොණ කියවනවා යැයි මම නොසිතමි.
කෙසේ හෝ වෙනත් රටවල බයිසිකල් පදින්නට පදික වේදිකාවේම වෙන් කළ තීරුවක් තිබෙනවා. ඉතින් ඒක මහ මාර්ගයේ සෙසු වාහන වලටද පහසුවක් වගේම බයිසිකල් පදින අයටද හිතකරයි. අපේ රටේ මාර්ගවල ආරක්ෂාව වැඩිනම් මෙලෙස විකල්ප මාර්ග තීරුවක් තිබේනම් මීට වඩා බයිසිකල් පදින්නට මිනිස්සු උනන්දු වෙනවා ඇති යැයි මට සිතේ.
ඉඳගෙන පමණක් වැඩ නොකරන, ශල්‍යාගාරයේදී පැය ගණන් සිටගෙන සිටින අපට වෙරිකෝස් , අධික රුධිර පීඩනය, දියවැඩියාව මෙන්ම තරබාරුව වැනි තත්වයන්ට ඉක්මනින් ළඟා වීමේ අවධානමක් තිබෙනවා. එමෙන්ම පරිගණක ආශ්‍රිතව වැඩ කරන අයටද මේ අවධානම වැඩියෙන් තිබෙනවා. එනිසා බයිසිකලයක් පැදීමෙන් බොහෝ දුරට මේ තත්වය අඩු කරගන්න පුළුවන් වෙන එකනම් ෂුවර්. මොකද හැමෝම ජිම් එකකට හෝ ශරීර සුවතාවයට කියලා වයායාම් නොකරන නිසා. අනික අපේ රටේ ගොඩක් අය පුරුදු වෙලා ඉන්නේ, ෆ්‍රයිඩ් රයිස් , කොත්තු රොටී, පරාටා වැනි පිටි තෙල් අධික කෑම වලින් කුස පුරවාගන්නයි එනිසා වෙන්නේ තවත් රෝගීන් සංඛ්‍යාව වැඩි වෙන එකයි
උතුරු කොණේ සියල්ලන්ගේම වගේ හිතකර වාහනය බයිසිකලයයි. එනිසා පොදු ජනයාටද අපි වැනි බයිසිකල් පදින දොස්තරලාටද හිත සුව පිනිස A9 මාර්ගයේ භයානක බව අඩු කළ යුතුය
මෙය හදිසියේ හෝ කවුරු හරි පරිසර හිතකාමි මහතෙකුගේ හෝ සංවිධානයක ඇස ගැටුනොත්, මහ මාර්ගයට යාබද ව බයිසිකල් මංතීරුවක් සකසන එක ගැන මීට වඩා අපේ රටේ මිනිස්සුන්ගේ හිත් වල අවධානයක් ඇති කරන්න. බයිසිකල් පදින එක මීට වඩා මිනිස්සුන්ට කිට්ටු කරන්න උත්සහ ගත්තොත් හොඳයි කියලා හිතනවානම් ඔබලා කරන කැම්පේන් එකකට අපිද (බයිසිකල් පදින දොස්තරලා ) උපරිම වශයෙන් සහය දක්වන්නෙමු.
මිහිකත සම්පතක්. දිනෙන් දින වැඩි වෙන පරිසර හානියට සමගාමීව පරිසරය දැන් අපිට අහිතකර වෙන්නට පටන් අරගෙන. එක්කෙනෙක් හෝ මේ ගැන හිතා කටයුතු කරන්නේනම් මොන තරම් හොඳ ද?
මම නිතරම සිතුවේ… “ලෝකේ ඔබ දකින්න ඕනේ වෙනස ඔබම වෙන්න” කියාය.
Be the change you want to see in the world !
ඒ නිසාම මම නිතරම හිතකර වෙනසක් බවට පත්වීමි.
ඔබත් පුළුවන්නම් කරන්න ! මේක තමා ගත්තු එකම පින්තූරේ. දැන් මේ බයිසිකලය, මට පාවිච්චි කරන්න ලැබෙන්නේ නැති නිසා ඒක අත්‍යාවශ්‍යම කෙනෙක්ට තෑගි දුන්නා.
හැබැයි මුල් දවස්වල බයිසිකලයේ පිටි පස්සේ දුවන් ඇවිත් නැග්ග ෆර්හානයි දිනූෂියි දෙන්නම මා එක්කම බයිසිකලේ පෙරලන් වැටුනට පස්සේ ආයේ ආවේ නෑ ලිෆ්ට් ඉල්ලන්න නම්….
වෛද්‍ය බෝධිනී සමරතුංග
මමත් පහුගිය ඉන්ධන හිඟ කාලයේදී බයිසිකලයෙන් වැඩට යන්න පටන් ගත්තා.. කොලඹ බයිසිකල් පදින එක ලේසී නෑ…යටකර ගෙන යන්න බලන්නේ…ඒත් ඒ දවස් වල පටන් ගත්ත බයිසිකල් පැදිල්ල…රටෙන් යනකම්ම කරන් ගියා..
ඉන්දන නැති කාලේ උනත් මම බයිසිකලයෙන් එන එක සමහරෙක් මා නැති තැන ස්ට්ටේස් කතන්දර කියු බව කණට වැටී තියෙනවා..
ලංකාවේ බයිසිකල් ලේන් එකක් දැම්මා උනත් බයිසිකල් කරුවාගේ ආරක්ශාව තහවුරු වෙයෑයි කියන්න බෑ…මොකද ත්‍රී වීලර් සහෝදරයන් සහ බස් රියැදුරු මහත්වරුන්ට ඕනේ ඉඩක් විතරයි…ලේන් එක මොකට තියෙන එකක්ද කියලා වැඩක් නෑ….
ලංකාවේ මුලින්ම වගේ බයිසිකල් ලේන් එකක් ඉන්ට්‍රඩියුස් කලේ පිලියන්දල මොරටුව 255 පාරේ. මොරටුව කැම්පස් එක ඉස්සරා.. නමුත් ඒකෙ බයිසිකල් ධාවනය එච්චර කෙරුනේ නෑ…
බයිසිකල් පදින එක කල්චර් එකක්….ඒක උතුරේ තිබ්බට කොලඹ නෑ….නෙදර්ලන්තය වගේ බයිසිකල් කල්චර් එකක් ඇතිකරන්න මිනිස්සුන්ගෙ ඔළු ගෙඩි වෙනස් කරන්න ඕනේ… ඉන්ධන අර්බුධයෙන් පස්සෙ උනත් ඒ වෙනස ඇති වෙලා නෑ…
පිරිමියෙක් උනත් මමත් කැමති ලේඩීස් බයිසිකල් පදින්න..ඒක ලේසියි වගෙම පදින්නත් පහසුයි…
– MAYYA
අළුත් තැනකට ඇවිල්ලා වගේ නේද? අළුත් ඒවා ලියන්න.