කවිය යනු අපේ හද බස ය. ජීවිතයේ බොහෝ සංවේදනා , සංකල්පනා වී කවි පද තුලින් එළි දැක්වේ. කවියා තම ජීවිතාවබෝධය තුලින් කවි පද බඳී. කවිය යනු ආත්ම අවබෝදය දැයි මට සිතේ. කවියා යනු හුදෙක් තමාගේ මතය ඉදිරිපත් කරන්නෙක් පමණක් නොවේ ඔහු හෝ ඇය සමාජය වෙනස් කරන්නෙකි. ඒ කවියාගේ අදහස් ගැබ් වූ වචන තුලින් කියවන්නාගේ සිතේ වෙනසක් ඇති කිරීමෙනි. එනිසා කවියෙක් යනු සමාජ ශෝදකයෙකි. සමාජයේ යහපත සොයන්නෙකි. සමාජයේ සැඟවුනු බොහෝ දෑ නිරාවරණය කරන්නෙකි. කවියා යනු තම පරිකල්පන ශක්තිය තුලින් , ජීවිතාවබෝදය තුලින්, අන් අය වෙත පණිවිඩයක් ගෙන යන්නෙකි. ඒ බව කවි ලියන බොහෝ දෙනෙක් වටහා ගෙන නොමැත. මංජු නැදගමුව, මිතුරෙක්ට වඩා වැඩිහිටි සොයුරෙක් කීවොත් නිවැරදියි. මුලින්ම ඇස ගැටෙන්නේ “ දුවක සිටියා නම්” සිංදුවයි. රුක්ෂිලා අක්කාගේ මුහුණු පොතෙන්… යූටියුබ් ලින්ක් එක හරහාය.
පුදුමයකි… මේ තරම් සිතට දැනුනු.. හදට සෞම්‍ය පදමාලාවක් ඇසෙන්නේ කලකිනි. එකෙනෙහිම මට මතක් වෙන්නේ…දරුවෙක් අපේක්ෂාවෙන් සිටි මම ද මට ලැබෙන්න ඉන්නේ දියණියක් බව දැනගත් දින… මෙලෙස සිහින දුටු බවකි. දුවක සිටියානම් මා මෙසේ කරන්නේ යැයි… දුවක ඉන්නා මව්වරුන්ද අපේක්ෂිත මව්වරුන්ද සිහින දකී… කවියා ඒ සිහිනයට පද මුසු කරයි. නීලා වික්‍රමසිංහ මහත්මියගේ ලයාන්විත කටහඬ අප චිත්ත සන්තානයේ පතුලටම මේ පද රැගෙන යයි. මෙවැනි අපේ හදවතට ආමන්ත්‍රණය කරන ගීත බොහෝ අඩු ය. එවැනි සමත්කම් දැක්වූ අය බොහෝ ය. ඒ ගී පද අප මතකයේ රැඳෙන්නේ එහෙයිනි. නමුත් අද ඇසෙන කටොර සංගීතයෙන්ද, එකීනෙකට නොගැලපෙන රචනා අප මතකයේ නොරැඳෙන්නේ ඒවා අප හද ගැහෙන ස්වරයට , සිතුම් සමුදායට සමපාත නොවන හෙයිනි.
මුහුණුපොතේ දැන හඳුනාගෙන තිබුනත් හැබැහින් දැක කතා බස් කරන්නේ මෑතකදී ය. ඒ පොත් දොරට වැඩුමක දීය. එනමුත් නිරහංකාර, අව්‍යාජත්වය එකෙනෙහිම පසක් කරවූ මනූසකමින් හෙබි චරිතයකි. මංජු අයියාගේ වෙඩි උණ්ඩ සහ පිණි බිංඳු කවි පොත කළ එළි දකින දින කියන්නේමැයි ලියන්නේමැයි සිතා සිටියත් වෙහෙසත් වැඩත් අතරේ එය මග හැරිනි. මම මහා කවියෙක් හෝ රචකයෙක් නොවෙමි. එනමුත් එක හුස්මට කියවූ මංජු නැදගමුව කවියා / ගී පද රචකයා සොඳුරු කලාකරුවාගේ පොත ගැන වචනයක් ලියන්නටම සිත් විය.
එදිනෙදා කතා බස් කරන සරල වචන අහුරකින් තාලෙට කවියක් ලියන්ට සමත්කම් දක්වන කවියන් කිවිඳියන් දුලබය. නොතේරෙන සම්භාව්‍ය පද ඇමිණුමකින් කියවන්නා වෙහෙස කරවන පද්‍ය රචනා මා කොතෙකුත් දැක ඇත. කවිය සම්භාව්‍ය විය හැකිය, ගැඹුරු අර්ථාන්විත විය හැකි ය, නමුත් කියවන්නා වෙහෙසට පත් නොකළ යුතුය. මංජු නැදගමුව අයියාගේ කවි මුහුණු පොත ඔස්සේ කොතෙකුත් කියවා ඇත. ඒ කවි රස විඳි මට, එදිනෙදා සිදුවන සමාජ සිද්ධීන් ඔහුගේ කවි පද අතරට එකතුකරගන්නා අයුරු දැක ගත හැකිය. ඒවා කියවූ කෙනෙක්ට ඒවායේ ඇති සරල බව මැනැවින් වැටහෙනු ඇත. වචන දෙක තුනකින් උත්ප්රාස රසය කැටි කරගන්නට ඔහු සමත්කම් දක්වයි. සංකීර්ණ සමාජ සංසිද්ධින් කාව්‍යමය පෙළහරකින් විස්තර කිරීමට බස හසුරන ආකාරය අපූරුය. එවැනි කවි මට මින් පෙර හමුවී ඇත්තේ මොනිකා රුවන් පතිරණ කිවිඳියගේ කාව්‍ය රචනා තුලිනි.
මේ කවි කියවන අපිට ඒ කවි හිතට වැදෙන්නේ ඇයි දැයි මම මොහොතකට සිතුවෙමි. මේ කවි පද අපේ නොවේ, නමුත් මේ සංවේදනා අපට පොදුය. කවියෙක් ඒ පොදු සංවේදනා පද ගොන්නකට කැටි කර ඒවා “අපේ” කරයි. හිතේ උපදින දහසක් සිතුවිලි අපට අනුන්ගේ කවි තුලින් හමුවේ. ඒ කවි අපේ හිතට දැනෙන්නේ, හිතට වදින්නේ එහෙයිනි. එවැනි දක්ෂතාවයක් දක්වන කවියන් දුලබ ය. නමුත් එවැනි සමත්කම් දක්වන මංජු අයියාගේ කවි සහ ගී පද තුලින් අපට හමුවන්නේ නේක පද හරඹ ඔස්සේ ජීවන රිද්මයට මුසු වූ අපේ සිතුවිලිය. දහසකුත් කවි පද අතර හිත සසල කර නැවත්වූ පද බොහෝය… ලොකු අක්කා කවි පද පෙල… අසූවිය පසු කරන වාරු නැති අත්තම්මා… ගැන ලියමින්…සතර පෙර නිමිති ගැන බොහෝ අමුතු කතාවක් ගොතන කවි පද පෙල , පොඩි එවුන් අට දෙනෙක් උස් මහත් වුනු තැනක් ගැන සඳහන් වන අපූරුම පැදි පෙල… මේ මසිත එකිනෙහිම අරක් ගත් කවි කිහිපයකි. සමහර කවි තුලින් ඔහු සමාජයේ නොයෙක් හැල හැප්පීම් අප හමූවේ ගෙන හැර පායි.
මේ සියලු විඳීම් අපි එකිනෙකා වෙනස් අවධි වල නොයෙක් තැන් වල ලැබූ අත්දැකීම් ය. කවියා මේ සියලු සිදුවීම් කවි පද වල අමුණමින් අප හිත් තුල පෙළහරක් පායි. මේ කවි තුල සමාජයේ බොහෝ අඩු ලුහුඬු කම් ගැබ් වී ඇත, බොහො විඳීම් ගැන අපේ නෙත් අරවන තැන් ඇත. ඇතැම් කවි විප්ලවකාරී ය. මේ පද තුලින් විප්ලවයක් සිදුවෙන්නේ කියවන්නාගේ සිතෙහි යැයි මට සිතේ.
“ අර කවියේ ලියූ කෙනා කවුද ? ඒ කෙනා ආවද “ කියා වැඩිහිටි මහත්මියක් මංජු අයියාගෙන් අසනු මගේ සවනත වැටිනි. කවියක් හුදෙක් පද පෙලක් හෝ අදහසක් නොවී සජිවී වෙන්නේ කියවන්නාගේ සිතෙහි ය. මංජු නැදගමුව කවියා / ගේය පද රචකයා යනුවෙන් අප හැඳිවූවත් අතිශය සරල වූ, නිරහංකාර වූ ඔහුගේ කවි පද තුලින් ගම්‍ය වන්නේද ඒ ජිවන රටාවම ය. කවිය තුලින් කවියා කියවීම උගහට ය. නමුත් කවියාගේ ජීවන රටාව සහ ආකල්ප තුලින් ඔහුගේ පරිකල්පනයේ සහ සෞන්දර්යයේ සැබෑව විදහා පායි. ඔහු ගීත රචනා 200ක් පමණ ලියා ඇතැයි මා දැනගන්නේ පුවත් පතකිනි. එතෙක් ඒ බව ඔහු සඳහන් කරන්නේවත් නැත. උදම් ඇනීමක් නොව ඒ ඔහුගේ නිහතමානී කම යැයි මට සිතේ. ඇතැම් කවි පද පෙලක් කියවද්දී රිද්මයක් රැඳි නමුත් ඇතැම් කවි පෙලක රිද්මයක් දැනෙන්නේ නැත. ඒ නිදහස් කවියේ ස්වභාවය නිසා ඒ ගැන මගේ තර්කයක් නොමැත.
වෙඩි උණ්ඩ සහ පිණි බිංදු එකිනෙකට නොගැලපෙන දේවල් ය. වෙඩි උණ්ඩ විනාශයට යොදාගන්නේ මිනිසාම ය. සැතක් ගෙන සැත්කම් කරන වෛද්‍යවරයා ජීවිත බේරන කල්හි එවන් සැතකින් ජීවිත හානි කරන්නට මිනීමරුවෙක්ට හැකිය. කවියා ද ඒ වගේමය. මේ පද සමාජ පෙරළියක් ඇති කරවන සුළු ය. මේ කවි පද කියවන්නාගේ සිතේ සුභවාදී යමක් සනිටුහන් කරන්නට සමත් ය. සමාජය දෙස විපරම් ඇසකින් බලන්නට සමත් ය. එනිසා මංජු අයියේ ඔබට සුභ පතමි. තව තවත් මෙවැනි සාර්ථක කාව්‍ය රචනා මෙන්ම සුභාවිත ගීතයෙන් හෙළ සාහිත්‍ය කෙත පෝෂණය කරන්නට ඔබට දිරිය ශක්තිය පතමි. කවිවර ප්රකාශනයෙන් මුද්‍රිත මෙහි බර කරට ගත් කවී අක්කාටද මේ සමග සුභ පැතුම් එක් කරමි. මේ වචන ටික කියන්නට බැරි වුනු හෙයින් ලියා තබමි. !
වෛද්‍ය බෝධිනී සමරතුංග
කවිය කියන්නේ හැඟීමක්….ඒ හැඟීමට පිලිබද සංකල්පනාවක්…ඒ සංකල්පනාවට වචන හමු වූදා කවිය බිහිවෙනවා……………