(මනෝහරී ජයලත් මහත්මියගේ “කඩදොර” පොත කියවා ගැන මට දැනුන හිතුන දේ මෙලෙස ලියා තබනවා. My 2 cents about the masterpiece I recently read…කඩදොර written by Manohari Jayalath
Sorry that it’s not a lit review but rather what I felt when I read this book.
I remembered Indu, Venkatesh (from anithkona) and all the beautiful children who didn’t meet a “saraja” in their lives… )
කුඩා කෙල්ලක කාලයේ සිට වැඩිහිටි විය දක්වා විස්තාපනය වෙන යෞවනියකගේ ආත්ම කථනයක් ලෙස ගෙන එන මේ කතා පුවත කියවද්දී කොත්මලේ ජලාශය ඉදිවීම කියන ඒ සමාජ කාරණයට ඔබ්බෙන් දිවෙන සර්ව කාලීන ජීවන ඛේදාන්තයක නැවත නැවතත් හිතන්නට කාරණා අපමණ මතුවී දැනුනා. ඉතින් මම හිතුවා, මට මේ පොත දැනුන ආකාරය ලියන්නම ඕනෑ කියලා.
පොත කියවාගෙන යද්දී හිතේ ඇඳුනු හෝ මම උපකල්පනය කළ කතාවට හාත් පසින් වෙනස් මානයක් මේ කතාවෙන් පෙන්වන්න ලේඛිකාව සමත් වෙලා තිබෙනවා.
වැඩිහිටි – යෞවන මානව සම්බන්දතා ගැන බොහෝ ගැඹුරු කතිකාවක් ගෙනියන පොතක් වෙනස් පොතක් ලෙස මම මේ පොත දකිනවා. ඒ එක්කම මට
Alice in wonderland සිනමාපටයේ දෙබසක් මට මතක් වෙනවා.
Mad Hatter: “Have I gone mad?” (මට පිස්සු හැදිලද ?)
Alice : “I’m afraid so. You’re entirely bonkers. But I’ll tell you a secret. All the best people are.” (ඔව් මට හිතෙන්නෙ ඔබට හොඳටම පිස්සු කියලා, ඒත් මං රහසක් කියන්නද ? හොඳම මිනිස්සු සේරෝම එහෙම තමා”
(from Tim Burton’s 2010 ‘Alice in Wonderland’ movie)
කියමනක් තියෙනවා දරුවන්ගේ ආත්මය තුල / හිත තුල එයාලගෙ අම්මලාගේ හැඩය ගත් හිස් ඉඩක් තිබෙනවා කියලා. අම්මා කෙනෙක්ට ඒ හිස් ඉඩ පුරවන්න බැරි වුනොත් ඒ දරුවන් ජීවිත කාලයම ඒ හිස් ඉඩ නිසා පීඩා විඳිනවා.මේ පොත පුරාම හිතේ මහා රික්තක නිසා දුක් විඳින ළමයින් වගේම වැඩුණු මිනිසුන්ගේ හිත් කියවාගන්න හැකි වුනා.
ඔවුන් වැඩිහිටියන් වුනු පසුත් මේ හිස් ඉඩ ඔවුන්ගේ ජීවිතවල බොහෝ දෙදරීම් ඇති කරනවා. දරුවන්ට ඕනෑ ලෙස වැඩෙන්න නොහැකි සංස්කෘතික සම්බාදක එක්ක පවුලෙන් හෝ පාසැලෙන් සිදුවන බොහෝ අකටයුතුකම් දරාගෙන දරුවන් වැඩෙන්නේ තුවාල වූ හිත් එක්ක, රික්තක පිරුණු හිත් එක්ක ! එහෙම හිත් ගැන මේ පොතේ දිග හැරීම බොහොම හෙමින් සීරුවේ පරිස්සමට වියන ලද වියමනක් කියලයි මට හිතුනෙ. ඒකට හේතුව මේ පොතේ කතාව කියන්න පටන් ගන්නේ දැරියක් නිසයි.
සම්මතය හෝ පුරුදු පුහුණු කරනා ජීවන ක්‍රමයට එහා ලෝකය දකිනා නොගැලපෙන්නෝ, සිහින දකින්නෝ, හිතුවක්කාරයෝ සහ නිර්මාපකයෝ හෙවත් misfits, day dreamers, creators, wanderers, ලා මේ පොතේ හමුවෙනවා. ඔවුන් දරාගන්න සමාජයේ වැඩිහිටි චරිත පරිණත පුළුල් නිදහස් චින්තනයක් සහිත අය විය යුතුයි. එහෙත් සමාජයේ ඒ තරම් නිවහල් චින්තනයක් හෙබි වැඩිහිටියන් සිටී ද ? අධ්‍යාපන ක්‍රමය එවන් දරුවන් කෙරෙහි හිතකරද ? සංවේදී ද? නැත ! එවන් දරුවන් දිගින් දිගටම තලා පෙලා කොන් කර දමන, තේරුම් නොගන්නා විෂම ලෝකයක මනසින් රෝගී වූවන් සේ ජීවත් වීම මිසක ඔවුන් ට වැඩෙන්න ඉඩ දෙන්නට සමත් වේ නම් ඒ කලාතුරකින්. මිත්‍යාවන්ට වාරිත්‍රවලට ගැතිවී කොඳු කඩා බිඳ දමා ගොඩ නැගිය හැකි පරපුරක් නැතැයි වඩා පැහැදිලි වන්නේ වත්මන් පුරවැසියාගේ හැසිරීම දකිද්දී. තමාට අනන්‍ය වූ චින්තනයක්, නිදහස් විචාරශීලි චින්තනයක්, බොහෝ වෙනස් ලෙස සද්දෙට හිතන හිතක් හිමි දරුවන් නිහඬ කරවා බිඳ දමන්නේ වැඩිහිටි පරම්පරාවයි. එනිසා මෙය ඔබ කියවන්නේ නම් ඔබේ දැක්ම මෙන්ම රටේ දැක්ම ද පුරවැසියාගේ දැක්මද ඔබට තේරුම් ගත හැකිවනු ඇතැයි මට සිතෙනවා.
එක තැනක මෙන්න මෙහෙම කියනවා,
“සරාජා, සමහර ගුරුවරුන්ට පුළුවන් උන්මත්තකයෝ තනන්ඩ. එහෙම කරලා මානසික වෛද්‍ය වරුන්ට එක්ස්පෙරිමන්ට් කරන්ඩ අවස්ථාව සලසලා දෙන්ඩ පුළුවන්….”
ඉතා සරල වාක්‍ය දෙක තුනකින් ඇය මහා ලොකු කතන්දරයක් කියනවා. ඇයි ගුරුවරු විතරක්ද, ගෙවල් වලිනුත් ඒ දේ යස අගේට කරලා දෙනවා. මිනිසුන්ගේ මානසික අසමතුලිත බව නැති කරන්නට රසායනික ද්‍රව්‍ය හෙවත් බෙහෙත් අහුරකින් බැරි බවද , ඔවුන් ජීවත්වන අවට පරිසරයේ හිතකර බව කොයි තරම් ඉවහල් වෙනවාද කියන එකත් මේ කතාව කියවන් යද්දී නැවත නැවත මගේ හිතට මතක් කරනවා. විශාදය, මානසික අවපීඩනය ගැන කතා බහ අවශ්‍යම කාලයක රෝහල් ගත කළ පමණින් බෙහෙත් බිව්ව පමණින් මිනිසුන් සුවය ලබන්නේ නෑ. ඔවුන්ට ඔවුන් ජීවත්වෙන සමාජයෙන් නිවසෙන් අප්‍රමාණ ආදරය කරුණාව සහ සහයෝගය අවශ්‍යයි. ඒ ප්‍රබල කාරණා මේ පොත තුළින් නැවත නැවතත් මතක් කරනවා. මහා රික්තක එක්ක ජීවිතේ බිඳ වැටෙද්දී ඒවා විසඳා ගන්නේ කොහොමද කියන කුතුහලය දනවන ප්‍රශ්නයට උත්තර දැන බලා ගැනීම මේ පොත මතුවට කියවන අය වෙත ඉතිරි කරන්නවා.
මම කඩදොර පොත මිලදී ගන්නේ පොතේ කතා තේමාව හෝ අන්තර්ඝතය ගැන දැනගෙන නොව කතුවරියගේ ලිට්මස් කතා කියවා ඒ ලියන රටාවට ආසක්ත වූ නිසා. සුයිඩනේ කඩදොර එක්ක සම්බන්ද වෙන්නේ “රජ කොස් කෑම වී බිත්තර සමග” එක්කයි. ඔබ බලනවා ඇති මේ හරුපය මොකක්ද කියලා. ඔන්න ඔය වාක්‍ය තමා ජල විදුලිබල ව්‍යාපෘති උගන්වද්දී එක එක ජලාශ විදුලි බලාගාර හදන්න ලංකාවට ආධාර උපකාර දුන්නු රටවල් මතක් කරන මන්තරේ වුණේ. කොස් තමා මේ පොත කියවද්දී මතක් වුනේ. ඒ කියන්නේ කොත්මලේ හදන්නේ ස්වීඩනයෙන්. ඒ ගම්මානවල අය කීවේ සුයිඩනේ කියලාලු.
මේ පොත කියවද්දී තිස්පනේ සහ කඩදොර කඳු දෙක අතර වේල්ලක් බැඳලා රටේ ගෙවල් එළිය කරන්න විදුලිය උත්පාදනය කරගන්න ගෙන ගිය යෝද සැලැස්මවල් අතරේ ඉතා හීන් හඬින් ඇහුණු මිනිසුන්ගේ ජීවිතවල ඛේදවාචක සෑහෙන සැරට දැනෙන්න ගත්තා. ගෙයක් දොරක් තමන් ගොඩ නැගපු ජීවිතයම, පස් යට කරපු මී මුත්තාගේ සොහොන් ඉඳන් ඉඩ කඩම් ගස් වැල් සේරම අත් ඇරලා යන්න හිත හදාගන්නේ කොහොමද කියලා කල්පනා කළා. වැස්සක් නොවැටෙන නියං කාලයට මතුවන කඩදොර විහාරේ තොරණ පිළිමය විටින් විට හිතේ මැවුනා. “ඔයා දන්නවද යුරෝපයේ රටවල් මේවාට ආධාර උපකාර කළේ මේ නව සංවර්ධන යෝජනා ක්‍රම නිසා රට සුඛිත මුදිත වෙලා අම්බානෙක සංවර්ධිත වේවි කියන අරමුණු සහ ඉදිරි සැලසුම් එක්කලු. එහෙම කරලා බලද්දී රට තිබ්බට වඩා අවුල් වෙලා.” මේවා ගැන දන්නා සුමිතුරෙක් මං මේ පොත ගැන කියද්දී කීවේ, “අහෝ ඛේදයකි ඉරකි තිතකි” කියා ඒ කතාව අවසන් කරමින්.
මේ ආකාරයේ විපරිත වෙනස්කම් දරාගාත්තු මිනිසුන් ගැහැණුන් තමන් උපන් ගම්බිම් අතැර රටේ වෙනත් ප්‍රදේශ කරා ගෙන ගිය ව්‍යාපෘති රාශියක් ක්‍රියාත්මක වුණ බව මතකයට නැගෙනවා. වික්ටෝරියා ජලාශයට තෙල්දෙණිය යට වෙද්දී මහවැලි සි කලාපයේ උල්හිටිය පැත්තට පදිංචියට ගිය මගේ පිය පාර්ශවයේ නෑදෑයන් නිසා මට මේ සංසිද්ධි බොහොම ළඟින් දැනුනා.
කඩදොර නවකතාව කොත්මලේ ජලාශය ගොඩ නැගීමේ දී ඇති වුණු පාරසරික සහ සාමාජීය කාරණා මෙන්ම මේ සමාජයේ සියලු තැන් වල දකින්න අහන්න ලැබෙන සමාජ විෂමතා දරුවන්ගේ හැඟීම් නොතේරෙන මහා මිනිසුන් විසින් විසුණු කරන ලද ජීවිත පිළිබඳ තේරුම් කරවන මනා වියමනක් ලෙස ගොඩ නැගී ඇති අයුරු ප්‍රශංසනීය යි.
සංවර්ධනය නාමයෙන් සිදු කරන බොහෝ ව්‍යාපෘතිවල අවසානයේ ඉතිරි කරන ආර්ථික ඛේදවාචකය ද රටට හෙන ගැහුවත් මොකෝ අපිට වැඩක් වෙනවා නම් කියා හිතන තමන්ගේ මඩි තර කර ගැනීමේ පොරය ද මෙහි ඇතැම් විට මතු වේ. එහෙත් ප්‍රධාන කතා තේමාව ඇතුලේම ඒවා ප්‍රබන්ධයට එකතු කරගන්නා ආකාරය ඉතාම පරිස්සමෙන් සිහියෙන් ලියා තිබුණු අකුරු වියමන තුළින් පෙනුනා
“ජලාශේ එතරම් ජල කඳකින් පිරෙද්දි කොහොමද සරාජා හිස් තැන් හිටියේ… ඩෑම් එකට පේන්නේ මහජල කඳ විතරයි. ඒ ඇතුලේ අපේ කකියන හිස්තැන් තියෙන බව කවුරුත් විශ්වාස කරන එකක් නැහැ ඒ හිස්තැන් වතුරට වඩා බරයි….”
ඒ දැනෙන හිස්තැන් කොත්මලේ සපුමාලීට වගේම, මේ රටේ හතර දිග්භාගයේම ඉන්නා දරුවන්ට අප්‍රමාණව දැනෙනවා. මේ පොත දරුවන් සිටින මව්වරුන් පියවරුන් සහ පාසැල් ගුරුවරුන් කියවා ගන්නේ නම් වඩා හොඳයි කියා මට සිතෙනවා. ඉතින් දරුවන්ට තමන්ගේම අනන්‍ය වූ පෞර්ශයක් සහ චින්තනයක් එක්ක වැඩෙන්න නම් අවශ්‍ය වෙන්නෙ ඔවුන්ගේ හිතන පතන විදිහ, ඔවුන්ගේ ක්‍රමය තේරුම් ගත්තු වැඩිහිටි සමාජයක් ! ඒක තමා මට මේ පොතේ විශාලෙටම දැනුණු ප්‍රබල කාරණය. ඒ එක්කම සංවර්ධනයට මුවා වෙලා සිදුවන අනෙකුත් විප්‍රකාර ක්‍රියාකාරකම් ගැන හීනියට අත දිග ඇරලා ලියා තිබෙන ලියවිල්ල ඉස්තරම් බව කියව යුතුමයි.
සපුමාලීගේ සරාජා වගේ ඇලිස් දුටු විස්මලන්තයේ ඇලිස් ට හමුවුණු උමතු තොප්පි කාරයා වගේ වැටෙන්න යන මොහොතවල් අල්ලාගෙන නැගිටුවන අය නිතර හමු නොවන ලෝකෙක, බොහොම පරිස්සම් ගමනක් යා යුතු බව මේ ලියන මමවත් මගේ යෞවන කාලයේ දැනන් හිටියේ නෑ. තමන්ගේ හිතුවක්කාර හැඩය ඉටිවගේ උණු කරගෙන සමාජයෙන් හදා දෙන අච්චුවකට බලෙන් ඇද දමා ඒ ඒ නියම කරන හැඩයෙන් ඉන්පස්සේ ජීවිත කාලෙම, දුර්වල, අඳුරු වූ ප්‍රතිභාව රහිත වූ ඔත්පල වූ මනසක් එක්ක ඔහේ ජීවත් වෙන්න මේ සමාජ ක්‍රමය තුළ අධ්‍යාපන ක්‍රමය තුළ සිද්ධවෙනවා නොවේ ද ? කියලා ආයේ ආයෙම මේ පොත කියවද්දී මට සිහියට නැගෙනවා.
“එකම රහස ඇලිස් !… තමන්ගේ හදවතට සිනා ගෙනෙන මිනිසුන් තමන් වටේ රඳවා ගැනීමයි….” කියා උමතු තොප්පිකාරයා, ඇලිස් දුටු විස්මලන්තය පොතෙන් එබිලා ආයෙත් මට මතක් කරනවා (Mad hatter ,’The secret, Alice, is to surround yourself with people who make your heart smile. Alice in wonderland, Lewis Carrol)
පොතේ දෙබස් හෝ සිදුවීම් එකින් එක විග්රහ කරමින් නොලීවේ එයින් පොත මතුවට කියවන පාඨකයන්ට අවැඩක් කෙරෙන නිසා.
මේ හිතට හොඳටෝම දැනුනු වෙනස්ම ආමන්ත්‍රනයක් සහ ආකෘතියක් සහිත පොතක් ! මේ පොත රචනා කළ මනෝහරී ජයලත් ආදරණීය කතුවරියට තවත් මෙවැනි නිතර කතාබහට ලක් නොවන සමාජ කාරණා කතා කරන, මිනිසුන්ගේ හිත්වල පොඩි පොඩි එළි දල්වන කතන්දර ලියන්නට දිරිය ශක්තිය ලැබේවා ! කියා හද පත්ලෙන්ම නැගෙන සුභාෂිංසන එකතු කරනවා.
කතෘ – මනෝහරී ජයලත්
ප්රකාශනය – විදර්ශන ප්‍රකාශන
– වෛද්‍ය බෝධිනී සමරතුංග